තැපැල් ඡන්ද විමසීම හෙට සිට දින 7 ක් පුරා

216

මෙවර මහමැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙට සිට ආරම්භ වනවා.

තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා දින 7 ක් වෙන් කර ඇති අතර, ඒ අනුව, 13, 14, 15, 16, 17 සහ 20, 21 යන දිනවලදී තැපැල් ඡන්ද සලකුණු කිරීම සිදුකිරීමට නියමිතයි.

හෙට දිනයේ තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා අවස්ථාව සැලසෙන්නේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවල කාර්ය මණ්ඩලවලටයි.

ඒ, තැපැල් ඡන්ද සලකුණු කරනු ලබන සියලූම රාජ්‍ය හා ව්‍යවස්ථාපිත මණ්ඩල, ආරක්ෂක අංශයේ සේවා ස්ථානවල කොරෝනා වසංගතය පාලනය සඳහා ක්‍රියාවට නැංවිය යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබඳව අධීක්ෂණය කිරීම ජූලි මස 14, 15, 16 සහ 17 යන දිනවලදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවල කාර්ය මණ්ඩලයට ඍජුවම පැවරී තිබීම හේතුවෙන්.

එමෙන්ම පොලිස් ස්ථාන, ආරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අංශ සහ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාලවල හැර සෙසු රාජ්‍ය ආයතනවල තැපැල් ඡන්ද සලකුණු කිරීම ජූලි 14 සහ 15 යන දිනවලදී සිදු කිරීමට නියමිතයි.

පොලිස් ස්ථානවල, ආරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අංශ සහ සියලූම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාලවල තැපැල් ඡන්ද හිමියන්ට තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව ලබාදී ඇත්තේ ජූලි 16 සහ 17 වනදායි.

එම දිනවලදී නොවැළැක්විය හැකි හේතුවක් නිසා ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්දදායකයෙකුට ජුලි මස 20 සහ 21 වනදා අදාළ සහතික කිරීමේ නිලධාරියාගේ කාර්යාලය පිහිටි දිස්ත්‍රික්කයේ මැතිවරණ කාර්යාලයේදී සිය තැපැල් ඡන්දය භාවිතා කිරීමේ හැකියාව පවතිනවා.

ඊට අදාළව දැනුවත් කිරිමේ නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ, තැපැල් ඡන්ද දායකයින් ස්වකීය ඡන්දය සලකුණු කර ඇති ආකාරය කිසිවෙකුටත් සොයා ගත නොහැකි අතර, එය නිදහස් සහ රහස්‍ය ලෙස සලකුණු කිරීමට අවස්ථාව සලසා දී ඇති බවයි.

මේ අතර යම් තැපැල් ඡන්ද සලකුණු කිරීමේ ස්ථානයක ඡන්දය දීමට බාධා වන හෝ බලපෑම් කිරීමට හෝ උත්සාහ කළහොත් එකී ස්ථානයේ ඡන්දය අවලංගු කරන බව ද මැතිවරණ කොමිසම නිවේදනය කළා.