මියගිය සහෝදරයා දිව්‍යලෝකයේ සිට සිහිනෙන් පැමිණ පැවැසුවායි කියමින් සිය නිවෙසේ කුස්සියේ නිදන් හාරමින් සිටි පුද්ගලයකු ඇතුළු තිදෙනකු අධිකරණය හමුවට පැමිණවීමෙන් පසු ලබන 30දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කන්තලේ දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් දිනිදු සමරසිංහ නියෝග කළේය.
මෙසේ රිමාන්ඩ් කරන ලද්දේ කන්තලේ භාතියගම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 18,35,28 වයස්වල සැකකරුවන් තිදෙනෙකි.
නිවෙසේ මීට කලකට පෙර මියගිය තම සොහොයුරා තව්තිසා දිව්‍යලෝකයේ සිට සිහිනෙන් පැමිණ මුළුතැන්ගෙයි අඩි 20ක් පමණ හාරන විට නිධානයක් මතු වෙන බව පැවැසුවා යැයි සැකකරු සඳහන් කර ඇත. මීට පෙරද මෙම ස්ථානයේම නිදන් හාරා රුපියල් 50,000ක දඩයකට යටත්ව නිදහස ලබා ඇති අතර එවර අඩි 20ක් හාරා නොතිබුණු බවට තොරතුරු වාර්තා විය.
වැටලීම් කරනා අවස්ථාවේ තවත් තිදෙනකු පලාගොස් ඇති අතර මේ වනවිට ඔවුන් සොයා මෙහෙයුම් දියත් කර ඇත.
කන්තලේ කොට්ඨාසයේ ජේයෂ්ඨ පොලිස් අධිකාරි අශෝක මහින්ද වීරක්කොඩි මහතාගේ නියෝග මත සහකාර පොලිස් අධිකාරි රෝහණ වනිගසේකරගේ අධීක්ෂණයෙන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ. ඩබ්. එල්. වික්‍රමරත්නගේ උපදෙස් මත කොට්ඨාස අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක විජේවර්ධන ඇතුළු නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වති.
කන්තලේ – ඩබ්. එම්. වික්‍රමසිංහ