තරගාවලිය පැරදුනත් ජයග්‍රහණයක් අපට අවශ්‍යම වෙලා තිබුණා – කුසල්

303

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තරග 2 – 1 ක් ලෙස ජයග්‍රහණය කිරීමට බංග්ලාදේශ කණ්ඩායමට හැකියාව ලැබුණා. පළමු තරග 02 ජයග්‍රහණය කර තරගාවලියේ ජය ලබාසිටි බංග්ලාදේශය තෙවන හා අවසන් එක්දින තරගයේදී ලකුණු 97 කින් පරාජයට පත්කර තරග 2 – 1ක් ලෙස යම්කිසි ගෞරවාන්විත මට්ටමකින් තරගාවලිය අවසන් කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ හැකියාව ලැබුණා.

මෙම ජයග්‍රහණය සදහා ප්‍රමුඛත්වය ගෙන කටයුතු කළ නායක කුසල් ජනිත් ලකුණු 120 ක් ලබාගත් අතර පන්දු යැවීමේදී නැවතත් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත්වූ දුෂ්මන්ත චමීර ලකුණු 16 කට කඩුලු 05 ක් දවාගැනීමට සමත්වුණා.මීට අමතර ධනංජය ද සිල්වා පිත්තෙන් ලකුණු 55 හා පන්දු යැවීමේදී රමේෂ් මෙන්ඩිස් හා වනිදු හසරංග කඩුලු 02 බැගින් බිදහෙළීමට සමත්වුණා.
මෙම තරග ජයග්‍රහණයෙන් පසුව අදහස් දක්වමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුසල් ජනිත් පෙරේරා සදහන් කර සිටියේ තම කණ්ඩායමට ජයග්‍රහණයක් අවශ්‍යම සිටි මොහොතක මෙම ජයග්‍රහණය ලබාගත් බවයි.

” අපි තරගාවලිය පරාජයට පත්වෙලා සිටියත් අපට ජයග්‍රහණයක් අත්‍යවශ්‍ය වෙලා හිටියේ. පළමු පන්දුවාර 10 තුළදී අවධානමක් අරගෙන පන්දුවට පහරදෙන්න මමත් ධනුෂ්කත් තීරණය කළා. ඉන්පසුව කඩුල්ලේ ස්ථාවර වෙලා පන්දුවාර 30 – 35 ක් වගේ ප්‍රමාණයක් පන්දුවට පහරදෙන එක තමයි මගේ සැලැස්ම උනේ. පිතිකරුවෙක් විදියට ලකුණු 50 – 60 ක් ලබාගෙන කණ්ඩායමට ප්‍රමාණවත් නොවන බව මම දැනගෙන හිටියේ. ඒ නිසා උපරිම පන්දුවාර සංඛාවක් පන්දුවට පහරදෙන්න මම උත්සහා කළා. අපේ පන්දු යවන්නන් ගත්තොත් ඉතාම හොදින් ඔවුන් ඔවුන්ගේ සේවය ඉටුකළා. විශේෂයෙන්ම දුෂ්මන්ත චමීර තරගාවලිය පුරාවටම සාර්ථක පන්දු යැවීමක නිරතවුණා. කොහොමත් පළමු තරග දෙකේදීත් අපේ පන්දු යැවීම හෝ පන්දු රැකීම ගැටලුවක් වෙලා තිබුණේ නෑ. පන්දුවට පහරදීමේ තමයි ගැටලුවක් තිබුණේ. එය මෙම තරගයේදී මගහරවා ගන්න අපට හැකියාව ලැබුණා. ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම සුපුරුදු රිද්මයට ඇවිත් සිටිනවා. ඔවුන් ඉදිරියේදී හොදින් ක්‍රීඩා කරාවි කියලා මම බලාපොරොත්තු වෙනවා” යනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුසල් ජනිත් පෙරේරා සදහන්කර සිටියේය.