BREAKING NEWS
Search

තරගබිමේදී අවතක්සේරු වූ නෙත්මි ලෝකයට දුන් ප්‍රබල පිළිතුර

539

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලෙකදී පළමු වරට මල්ලවපොර ඉසව්වකින් පදක්කමක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව ඊයේ (05) සමත්වුණි.

එම ගෞරවය ශ්‍රී ලංකාවට හිමිකර දුන්නේ 18 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක්වීම විශේෂත්වයකි.

ඒ අනුව නෙත්මි අහිංසා කාන්තා කිලෝග්‍රෑම් 57 මල්ලවපොර ඉසව්වේ ලෝකඩ පදක්කම සඳහා වූ තරගයට ඊයේ සහභාගී වුණි.

තරගය ආරම්භයට පෙර විස්තර විචාරකයින් සඳහන් කළේ 18 හැවිරිදි නෙත්මිගේ ප්‍රතිවාදියා වූ අත්දැකීම් බහුල ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාව තරගය පහසුවෙන් ජයගනු ඇති බවය.

නමුත් තරග ආරම්භයේ සිට අත්දැකීම් බහුල ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකා ඉරීන් සිමියොනිඩිස්ට පාසල් සිසුවියක් වන නෙත්මි දැඩි අභියෝගයක් එල්ල කළේය.

නෙත්මි අහිංසා සිය ප්‍රතිවාදී ක්‍රීඩිකාව අබිබවා යමින් 10ට 0ක් ලෙස තරගය පහසුවෙන් ජයගත්තේ මිනිත්තුවයි තත්පර 50ක කාලයක් ඇතුළතය.

නෙත්මි ලබාගත් මෙම ලෝකඩ පදක්කම වාර්තා අතරට එක්වූයේ පොදුරදමඩුළු ක්‍රීඩා උළෙලෙකදී මල්ලවපොර ඉසව්වෙන් ශ්‍රී ලංකාව හිමිකරගත් පළමු පදක්කම ලෙසය.

එමෙන්ම පොදුරදමඩුළු ක්‍රීඩා උළෙලෙකදී පදක්කමක් දිනාගත් ලාබාලතම ශ්‍රී ලාංකිකයා ලෙස 18 හැවිරිදි නෙත්මි අහිංසා වාර්තා අතරට එක්වුණි.

සිය ජයග්‍රහණයෙන් පසු නෙත්මි අහිංසා අද දෙරණට සඳහන් කළේ,

“මගේ මේ පදක්කමේ නියම අයිතිකාරයා මගේ මාස්ටර්. ඒ වගේම මගේ දෙමව්පියන්. ඒ වගේම මේ පදක්කම සම්පූර්ණයෙන්ම අයිති මගේ රටට.”