ඩෙල්ටා ප්‍රභේදයේ ප්‍රතිඵල තවත් මාසයකින්

960

රට තුළ ක්‍රියාත්මක වූ සංචරණ සීමා හේතුවෙන් දෛනික කොවිඩ් මරණවල අඩුවීමක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා එස්.ගුණරත්න මහත්මිය පවසන්නීය.

කෙසේවෙතත් වර්තමානයේ හඳුනා ගැනෙන කොවිඩ් ප්‍රභේදය සම්බන්ධයෙන් නිගමනයකට එලඹීමට තවත් මාසයක පමණ කාලයක් ගතවනු ඇති බව සභාපතිනිය සඳහන් කළාය.

මේ සම්බන්ධයෙන් අද දෙරණ සමග අදහස් දැක්වූ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා එස්.ගුණරත්න මහත්මිය,

“ඩෙල්ටා ප්‍රභේදය කොළඹ ඇතුළු තවත් බාහිර ප්‍රදේශ කිහිපයකිනුත් එක්ක තවත් රෝගීන් 14ක් හඳුනාගෙන තිබෙනවා.මේ අවස්ථාවේදී අපි යම් සාමාන්‍ය තත්ත්වයක් දකින්නේ සති 3කට පෙර රට ලොක්ඩවුන් කරලා රෝගය පාලනයට කටයුතු කරපු නිසා.ඒ නිසා මරණවල අනුපාතය අඩුවීමක් තියෙනවා.දැන් බෝවන රෝගයේ ප්‍රතිඵල දකින් අපිට තවත් මාසයක් විතර යනවා. ඒ කාලය වෙනකොට අපිට පාලනයක් යොදන්න හැකියාවක් නැතිවෙයි.හැබැයි අපේ නොසැලකිල්ල නිසා මේ රෝගය ඉතාමත්ම වේගයෙන් ලංකාව පුරාම පැතිරෙනවා කියලා කියන්න පුළුවන්.”

මේ අතර එන්ත්කරණ කටයුතු සම්බන්ධයෙන්ද විශේෂඥ වෛද්‍ය පද්මා එස්.ගුණරත්න මහත්මිය අදහස් පළ කළාය.

එහිදී ඇය සඳහන් කළේ මේ අවස්ථාවේදී රටේ එන්නත්කරණ කටයුතු ඉතාමත් වේගයෙන් කළ යුතුව ඇති බවය.

ඩෙල්ටා ප්‍රභේදයේ නව ආසාදිතයින් හමු වී ඇත්තේ කොළඹ මහනගර සභාව,අංගොඩ මානසික විද්‍යායතනය,කරාපිටිය ශික්ෂණ රෝහල සහ මාතර පෞද්ගලික රෝහලක් වෙතින් ලබාදී තිබූ සාම්පල්වලිනි.

ඒ අනුව එම සාම්පල ලැබුණු අයගේ පදිංචි ස්ථාන සහ අනන්‍යතාව පිළිබඳව වසංගත රෝග විද්‍යා අංශය සොයමින් පවතී.