ඩෙල්ටා ආසාදිතයෝ 19ක්-19න් 5ක් දෙමටගොඩ,කහතුඩුව ප්‍රදේශවලින්.

424

විදේශිකයකුත් ඒ අතර කොළඹ-ගාල්ල-මාතර

කොවිඩ් ඩෙල්ටා ප්‍ර‌භේදය ආසාදිතයන් 19ක් මේ වන විට මෙරටින් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ඊයේ (04) ප්‍රකාශ කළේය.

ඉන් එක් අයෙක් විදේශියකයකු බවත් ඉතිරි පුද්ගලයන් දේශීය ආසාදිතයන් බවත් ඒ මහතා පැවසුවේය.

දේශීය ආසාදිතයන් කොළඹ,ගාල්ල,මාතර,ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබේ. දේශීයව වාර්තා වී ඇති ඩෙල්ටා ආසාදිතයන් 18න් 5ක් කොළඹ දිස්ත්‍රික්කයේ පුද්ගලයන් ය.ඔවුන් දෙමටගොඩ,කහතුඩුව ප්‍රදේශවලින් හඳුනාගත් පුද්ගලයන් වේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා,ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා ආයතනයෙන් කළ ජාන පර්යේෂණ පරීක්ෂණයෙන් මෙම ආසාදිතයන් හඳුනාගෙන තිබේ.

එම පර්යේෂණයෙන් හඳුනාගත් තොරතුරු ඇතුළත් වාර්තාව මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත බාර දී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා,ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසුවේය.සෙසු කොවිඩ් ප්‍රභේදයන්ට සාපේක්ෂව ඩෙල්ටා ප්‍රභේදය දෙගුණයක වේගයකින් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමක් සිදු වන්නේ යැයි විද්වත්හු පවසති.

සන්ධ්‍යා කරුණාරත්න