ඩිල්ෂාන් මුණවීර අමෙරිකානු ජාතික ක්‍රිකට් කණ්ඩායමට එක්වෙයි ද…?

451

අමෙරිකානු ක්‍රිකට් කණ්ඩායම සමඟ එක්වීමට තමන් කිසිදු තීරණය ගෙන නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රවේගකාරී පිතිකරුවකු වන ඩිල්ෂාන් මුණවීර පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින්.

පසුගිය දිනවල තමන් අමෙරිකානු ජාතික කණ්ඩායම සමග සම්බන්ධවීමට තීරණය කර ඇතැයි සමාජ සමාජ මාධ්‍යවල තොරතුරු හුවමාරු අසත්‍ය බවයි ඔහු ප්‍රකාශ කළේ.

ඉදිරියේදී එළඹෙන දේශීය ක්‍රිකට් තරගාවලියට හොඳින් ක්‍රීඩා කර යළි ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට එක්වීම තම ඒකායන අරමුණ බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කරනවා.

ඩිල්ෂාන් මුණවීර ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විස්සයි විස්ස ක්‍රිකට් තරග 13කට ක්‍රීඩා කර එහිදී රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 215ක්.

පන්දුයැවීමේදී ඔහු එක් කඩුල්ලක් දවාගැනීමට ද සමත්ව තිබෙනවා.

මේ අතර නවසීලන්ත කණ්ඩායමේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩක කොරේ ඇන්ඩර්සන් ද අමෙරිකානු ක්‍රිකට් කණ්ඩායම සමග එක්වූ බවයි පසුගියදා විදෙස් මාධ්‍ය වාර්තා කළේ.