ටෙලිකොම් නිකම් කරන්නම් කියපු කෝච්චි ටිකට් ව්‍යාපෘතිය ඩොලර් මිලියන 22කට චීනෙට දෙන්න යයි!

207

දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම විද්‍යුත්කරණය කිරීමේ ව්‍යාපෘතිය ඇමරිකානු ඩොලර් මිලියන 22 ක කොන්ත්‍රාත්තුවක් මත චීන සමාගමකට දීමේ උත්සහයක් පවතින බව වාර්තා වේ.

දුම්රිය වෘත්තීය සමිති ප්‍රමුඛ රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති රැසක් පෙන්වා දෙන්නේ මෙම ව්‍යාපෘතිය නොමිලයේ සිදුකර දීමට දේශීය සන්නිවේදන සමාගමක් විසින් එකඟත්වය හා කැමැත්ත පළකර තිබියදී මෙසේ එය චීනයට ලබා දීම හරහා දැවැන්ත මූල්‍ය හානියක් සිදුවන බවකි.

මෙම ව්‍යාපෘතිය නොමිලයේ සිදුකර දීම ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම කැමැත්ත පළකර තිබියදී මෙම ව්‍යාප්තිය වේල් ක්ලවුඩ් ‌ටෙක්නොලොජි (whale cloud technology) නැමති පුද්ගලික චීන සමාගමට ලබා දීමට උත්සහා ගනිමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන දුම්රිය සේවක සංගමයේ ලේකම් නදීර මනොජ් පැවසීය.

වත්මන් ප්‍රවාහන ඇමති ගාමිණි ලොකුගේ ද මෙම ව්‍යාපෘතිය දේශීය සමාගමක් වන ටෙලිකොම් සමාගම වෙත ලබාදීමට පූර්ණ එකඟත්වය පළකර ඇත.

මෙම උත්සහායට දුම්රිය වෘත්තීය සමිති 30 කට අධික සංඛ්‍යාවක් මෙන්ම ජාතික මට්ටමේ වෘත්තීය සමිති ඇතුළු බලවේග සියයකින් පමණ දැඩි විරෝධයක් මතුව තිබෙන බවත් මෙම ක්‍රියාවලියට එරෙහිව දැවැන්ත ඒකාබද්ධ වෘත්තීය අරගලයක් ගෙන යන බවත් දුම්රිය එන්ජින් රියැදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අල්ලස් හෝ දූ ෂණ විමර්ශන කොමිෂන් සභාව,විගණකාධිපතිවරයා ඇතුළු පාර්ශ්ව රැසකට පැමිණිලි කර ඇතත් මෙම උත්සහාය මෙතෙක් නැවතී නැති බවද හෙතෙම කීවේය.