BREAKING NEWS
Search

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නේ නෑ

284

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම නොගන්නා බව පැවසීය.ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ ප්‍රවීන ක්‍රිකට් විස්තර විචාරක රසල් ආනල්ඩ් විසින් සිදුකරනු ලබන“චිලිං විත් රසල්” යූ ටියුබ් වැඩසටහන සඳහා එක්වෙමින් මාලිංග මෙම අදහස් දැක්වීම සිදුකරන ලදී.

“යමෙකු රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සිරීස් තරඟාවලියට සහභාගී වීමට නම් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත යුතුයි.නමුත් මම විශ්‍රාම යන්නේ නෑ”යනුවෙන් මාලිංග පැවසීය.

ලබන වසරේ පැවැත්වෙන“රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සිරීස්”තරගාවලියේදී ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමගින් එක්වන ලෙස කණ්ඩායම් කළමණාකරු ශාම් ඉම්පෙට් මහතා කළ ඉල්ලීමට පිළිතුරු ලෙස මාලිංග එසේ පැවසීය.

”විස්සයි20 ලෝක කුසලානය ගැන නෙවේ මම කියන්නේ.මම විශ්‍රාම යන්නේ නැහැ.මට තවමත් පන්දු 24 ක් කඩුල්ල කෙලින් යවන්න පුලුවන්”යැයි මාලිංග පැවසීය.

“මට කිලෝමීටර් 2 නියමිත වේලාවට සම්පූර්ණ කරන්න බෑ.ඒ නිසයි මම ගෙදර ඉන්නේ.කෙසේ වෙතත් මට කිසිදු ගැටළුවක් නොමැතිව පැය 2 ක් පමණ පන්දු යවන්න පුලුවන්” සංචාරයකට එක්වීමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නියමිත කාලයක් තුල කිලෝමීටර් 2 ක දුරක් සම්පූර්ණ කිරීම අනිවාර්ය කිරීම පිළිබඳව අදහස් දක්වමින් මාලිංග මෙසේ පැවසීය.

“මට කෙළින් පන්දු 24 ක් යවන්න පුලුවන්.මට පන්දු 200 ක් පවා පන්දු යවන්න පුලුවන්.නමුත් කිලෝමීටර් 2 ක යෝග්‍යතා පරීක්ෂණය කරන්න බැරි නිසා මම ගෙදර ඉන්නවා.නමුත් ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි20 මට්ටමින් දස්කම් දැක්වීමට තමාට තවමත් හැකියාවක් ඇති බව මාලිංග තවදුරටත් කියා සිටියේය.

“මම නවසීලන්තයට එරෙහිව මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පන්දු 4 කදී කඩුලු 4 ක් දවා ගත්තා.ඒ වන විට මට වයස අවුරුදු 37 යි.එම අවස්ථාවේදී කිසිවෙකු මගේ බඩ හෝ යෝග්‍යතාවය පිළිබඳව පැමිණිලි කළේ නෑ.කවුරුත් ඒ ජයග්‍රහණය අත්පොලසන් දීලා සතුටින් බාරගත්තනේ” යැයි පැවසීය.