ජනප්‍රිය ඉංග්‍රීසි ගුරුවරයා කොවිඩ් මාරයාට බිලි.. සැමියාගේ වියෝවේ කම්පනයෙන් බිරියත් මියයයි..

586

ප්‍රියේහි විප්ප යෝගෝ දුක්ඛෝ යැයි බුදුන්වහන්සේ වදාළහ. කොවිඩ් – 19 මාරයා අපේ සමීපතමයන් අපෙන් උදුරා ගනිද්දී බුදු වදන් මතකයට නොනැගෙන්නේ කාටද?

සිය හයවැනි විවාහ සංවත්සර සැමරුමට පෙර දින එනම් අහෝ: 24දා ජීවිතයට සමුදුන් දහස් සංඛ්‍යාත දරුවන්ට ඉංග්‍රීසි භාෂාව ඉගැන් වූ අතිදක්ෂ තරුණ ගුරු පි⁣යෙකුගේ අභාවය සැලවීමෙන් එතුමාගේ මවුපියන්, සහෝදරයා සහ සහෝදරිය, සමීපතමයන් මෙන්ම දෙස් විදෙස් ශිෂයයන්ද විශාල කම්පනයකට පත්වී සිටි.

කිරිබත්ගොඩ ජාතික නිවාස ක්‍රමයේ පදිංචිව සිටි ධනංජය අනුරාධ තරුණ ගුරු මහතා ඉංග්‍රීසි ගුරුවරයකු ලෙස ප්‍රසිද්ධියට පත් අයෙකි. කිරිබත්ගොඩ වාසිටියේ සතියේ දින පහේම උදෑසන 8.00 සිට අපොස සා. පෙළ හා උසස් පෙළ තරුණ සිසුන්ට ඉංග්‍රීසි භාෂාව ඉගැන්වූ ඔහු එම සිසුන් අතර වඩාත් ජනප්‍රිය චරිතයක් වී ඇත්තේ සැබැවින්ම ඔහු තුළ තිබූ මානුෂීය ගුණාංගයන් නිසාය.

1985-4-10 වැනිදා සිය පවුලේ වැඩිමහල් දරුවා ලෙස උපන් ධනංජයට එක් සොහොයුරියක් සහ බාල සොහොයුරෙක් සිටී. 1993-07-27 වැනිදා උපන් රත්මලාන ප්‍රදේශයේ පදිංචි අංජලී පෙරේරා සමඟ 2015-08-24 වැනිදා විවාහ වී ඇති ධනංජය අනුරාධ මහතාගේ වියෝව ඇසූ බිරිය එම කම්පනයෙන්ම ඔවුන්ගේ විවාහ සංවත්සරයදා එනම් 24 වැනිදා අලුයම 2 ට පමණ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී ඔවුන්ගේ එකම සිඟිති දියණිය තනිකර දමා මෙලොවින් සමුගෙන ඇත.

මියගිය ධනංජය අනුරාධ මහතා සහ ඔහුගේ බිරියටත් පස් හැවිරිදි කුඩා දියණියටත් එකවරම උණ රෝගය වැලඳී ඇති අතර තිදෙනාම රාගම ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබාගෙන ඇති අතර එහිදී සිදුකළ PCR පරීක්ණෂ⁣යෙන් තිදෙනාටම කාවිඩ් – 19 වෛරසය වැලඳී ඇතැයි තහවුරු වී ඇත. එහිදී ලබාදුන් ප්‍රතිකාරවලින් දියණියට රෝගය සුව වූ නමුත් ඔවුන් දෙදෙනාට සුවයක් නොලැබුණු බැවින් ඔවුන් දෙදෙනා එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීමට තීරණය කර ඇත.

රාගම ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලකට ඉකුත්දා (19දා) නේවාසිකව ප්‍රතිකාර ගැනීමට ඇතුළු වී ඇති ධනංජය සහ බිරිය 22 වැනිදා තෙක් එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගෙන ඇත. 22 වැනිදා සවස 6.00ට පමණ ධනංජයට හුස්ම ගැනීමේ අපහසුතාව වැඩිවී ඇති අතර ඔහුව රාගම පෞද්ගලික රෝහලෙන් වැලිසර කෝවිඩි-19 රෝහලට මාරු කර යවා ඇත. එදිනම රාත්‍රී 10.30 ට වැලිසර රෝහලේදී ලක්ෂ සංඛ්‍යාත දරුවන්ට පුරා වසර 15ක් ඉංග්‍රීසි භාෂාව ඉගැන්වූ ආදරණීය ධනංජය සර් ජීවිතයෙන් සමුගෙන ඇත.

ඒ වන විට කොවිඩි-19 රෝගියකු ලෙස සිය නිවෙසේ නිරෝධායනය වෙමින් සිටි අංජලී පෙරේරා සිය සැමියාගේ වියෝව ඇසීමෙන් මහත් කම්පනයට පත්වීමෙන් ඇයව ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කර ඇති අතර 24 වැනිදා අලුයම 2.00ට පමණ ඇයද අවසන් ගමන් ගොස් ඇත.

මියගිය ධනංජය අනුරාධ ගුරු පියාණනන්ගේ අවසන් කටයුතු 24 වැනිදා බියගම උඩුපිල සියඹලාවන්ත ආදාහනාගාරයේදී සිදුකර ඇති අතර ඔහුගේ බිරිය අංජලී පෙරේරාගේ ආදාහන කටයුතු 26 වැනිදා උදේ 10.30ට  තලවතුගොඩ ආදාහනාගාරයේදී සිදුකිරීමට නියමීතව ඇත.

ධනංජය අනුරාධ මහතාගේ වියෝවෙන් තැවෙන කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඔහුගේ හිතවතුන් අතර සිටින ප්‍රවීණ ගණිත ගුරුවරයකු මෙන්ම මාධ්‍යවේදියකුද වන පිය සෙනෙවිරත්න මහතා පැවැසුවේ ‘කොවිඩි-19 මාරයා රැගෙන ගිය ධනංජය මිනිසත්කමින් පරිපුර්ණ වූ අයකු බවයි”

ධනංජය කියන්නේ සුවහසක් දරුවන්ට තාත්තෙක්. එයා ඉගැන්නුවේ අපේ රටේ අනාගතේ භාරගන්න ඉන්න තරුණ පිරිසට, ඒ දරුවො අතර මගේ පුතා චමෝද් එක්කෙනෙක්, වසර 15 ක් කැප වුණේ දරුවා අකැමැති වෙන ඉංග්‍රීසි භාෂාව ඔවුන්ට දෙන්න. දැනුම බින්දුවෙන් එන දරුවත් සුද්දෙක් වගේ බාශාව හසුරුවන තත්වෙට ගේන්න එයා දක්ෂයි. එයා නැති පාඩුව මකන්න කාටවත් බැහැ.

අද මේ වෙනකොට ධනංජයගෙන් ඉගෙන ගත්ත ළමයි ලෝකේ රටවල් පුරාම ඉන්නවා, රටේ දහස් ගාණක් දරුවන්ට උගන්වපු මේ ගුරු පියාණන්ගේ එකම පුංචි සිඟිති ශානිට අද අම්මත් නෑ. තාත්තත් නෑ. කොවිඩ් – 19 ඇත්තෙන්ම මාර⁣යෙක්. මේ වගේ වටිනා ජීවිත රටට අහිමි වීම දරාගන්න බැරි පාඩුවක්” යැයි පියල් සෙනෙවිරත්න මහතා පැවැසීය.

– කුසුම් එස්. හැන්නදි (කැළණිය)