ජනතාව තුනෙන් දෙකේ බලය දුන්නේ පරිසරය විනාශ කරන්න නෙමේ” – විමල් වීරවංශ

413

ජනතාව විසින් තුනෙන් දෙකක බලය ලබා දුන්නේ සංවේදී පරිසර කලාපයන් හෝ තෙත් බිම් විනාශ කිරීමට නොවන බවත් ජනතාව ගේ බලාපොරොත්තු ඉටුකිරීමට සෑම දෙනාටම වගකීමක් ඇති බව අමාත්‍ය විමල් විරවංශ ප්‍රකාශ කර සිටියා.

ආරක්‍ෂිත ප්‍රදේශයක් ලෙස මෙන්ම අභය භූමියක් වශයෙන් නම්කර තිබෙන පුත්තලම දිස්ත්‍රික්කයේ තිබෙන ප්‍රධාන වැව් පද්ධතියකින් සමන්විත ආනාවිලුන්දාව අභය භූමිය ඉස්සන් වගා කිරීම සඳහා එළිපෙහෙළි කිරීම සම්බන්ධයෙන් පරිසරවේදීන් සහ සමාජ මාධ්‍ය තුල දැඩි කතාබහක් මතුවී තිබෙන පසුබිමක පාර්ලිමේන්තුව හමුවේ අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කිරීමෙන් පසුව අද (27) පැවති විවාදයට එක්වෙමින් ඔහු මෙම අදහස් පළකර සිටියා.

“මම අද සමාජ මාධ්‍යවල දැක්කා පුත්තලමේ තිබෙන රම්සා තෙත් බිම් කලාපයේ එළි පෙහෙළි කරනවා කරලා තියෙනවා කියලා ඉස්සෝ වගේ කරන්න.මම පෞද්ගලිකව දන්නේ නැහැ එහෙම කරන්නේ කාගේ කවුද කියලා,කාගේ ගොල්යෝද කියලා.සමහර විට ඒ අපේ ආණ්ඩු පක්ෂයේ දේශපාලන බලවතෙක් ගේ ගෝලයෝ වෙන්න පුළුවන් එහෙම නැත්නම් ආණ්ඩු පක්ෂයේ හෝ දේශපාලන බලයක් නොමැති අය වෙන්න පුළුවන්.

නමුත් මේ කවුරු උනත් තේරුම් ගන්න ඕන මේ රටේ තෙත් බිම් වලට හෝ පරිසරයට අත තියන්න නෙමේ අපිට තුනෙන් දෙකේ බලය දීලා තියෙන්නේ.රම්සා තෙත් බිම් කියන්නේ ලෝකයේ ඒ වගේ තෙත් බිම් වලින් දෙවැනියට වැටෙන්නේ. පක්ෂීන්ට ඒ තෙත් බිම් ආශ්‍රිත ජීවීන්ට අයිති භුමිය.ඉස්සෝ වගා කරන්න කියලා ඒ භූමියට අත තියන්න කියලා අපිට අයිතියක් නැහැ.ඒක කොහෙන් උනත් නතර කරන්න ඕන.

මේ තුනෙන් දෙකේ බලය දුන්නේ අපිට අනිසි ලෙස පාවිච්චි කරන්න නෙමේ.අපිට ලැබුණු ජනවරමේ සුජාත භාවය ආරක්ෂා කරන්න ඕන.ඒ සුජාතභාවය ආරක්ෂා කලොත් තමයි මේ ආරම්භ කරපු ගමන් මාර්ගය දිගටම යන්නේ.ඒ නිසා අපි කාටත් විශාල වගකීමක් තියෙනවා පොදු ජනතාවගේ විශ්වාසය ආරක්ෂා කරන්න,අපි ඒකට බැඳී සිටිනවා කියල සියලු දෙනාම සිහියේ තබා ගන්න අවශ්‍යයි”ඔහු මෙහිදී කියා සිටියා.