චාමිකට පැය තුනක සැත්කමක් – මැහුම් 30ක් ගහලා

ByPasindu

Dec 9, 2022

ගෝල් ග්ලැඩියේටර්ස් පිල සමඟ පෙරේදා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවති එල්පීඑල් තරගය අතරතුර උඩපන්දුවක් වැදීමෙන් දත් 4ක් ගැලවී ගිය කැන්ඩි ෆැල්කන්ස් පිලේ තුන්ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න පැය තුනක සැත්කමකින් පසු යළි කණ්ඩායමට එක්ව ඇතැයි වාර්තා වේ.

අනතුරට ලක්වීමෙන් පසු ඔහු කණ්ඩායමේ වෛද්‍යවරයා, කළමනාකරු සහ ආරක්ෂක නිලධාරීන් සමඟ ගාල්ලේ පෞද්ගලික රෝහලකට ගොස් ඇති අතර, ඒ වන විටත් පූර්ව දැනුම්දීමකට අනුව එම රෝහලේ වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩලය කඩිනමින් සැත්කම සිදු කිරීමට සූදානම්ව සිටි බව ද වාර්තා වේ. එම තරගයේදී කාලෝස් බ්‍රැත්වේට් විසින් යවන ලද ඉනිමේ සිවුවැනි ඕවරයේ පළමු පන්දුවට ගෝල් ග්ලැඩියේටර්ස් පිලේ පිතිකරු නුවනිඳු ප්‍රනාන්දු එල්ල කළ පහරින් ඉහළ නැඟුණු පන්දුව උඩපන්දුවක් ලෙස රැක ගැනීමට චාමික දිවගොස් ඇති අතර, එහිදී පන්දුව ඔහුගේ මුවෙහි ගැටීමෙන් මේ අනතුර සිදු වී තිබේ. කෙසේ වුවද ඔහු එම උඩපන්දුව සුරක්ෂිතව රැක ගැනීමට සමත් විය.

චාමිකගේ දත් දෙකක් ගැලවී වැටී ඇති බවත්, තවත් දත් දෙකක් බුරුල්වී තිබූ බවත් ‘දිනමිණ’ කළ විමසුමකදී ඔහුගේ පියා වන ලුවී කරුණාරත්න මහතා පැවසීය.

“දත් දෙකක් ගැලවිලා තිබුණා. එක දතක් එයා අතේ අරන් ආවා. අනික ඔහු පන්දු රකිමින් සිටි ස්ථානයේ වැටී තිබිලා පසුව රෝහලට එවා තිබුණා. දත් හතරම නැවත සවි කරලයි තිබෙන්නේ. මැහුම් තිස් ගණනකුත් දමා තිබෙනවා. සැත්කමින් පස්සේ චාමික ආපහු හම්බන්තොට ගියා කණ්ඩායමට එකතු වෙන්න. ඊළඟ තරගයට සෙල්ලම් කරන්න චාමික බලාපොරොත්තුවෙන් ඉන්නේ. විවේකයක් අවශ්‍ය වෙන්නේ නැති බවයි එයා කියන්නේ.” ලුවී කරුණාරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේය