ගොවිතැනෙන් ජිවත්වන දෑස් අන්ධ ජාතියටත් ආගමටත් ණය නැති හාමුදුරුවෝ

226

කොත්මලේ නව තිස්පනේ, හුණුගල් ඔය ශ්‍රී ඥාණෝදය බෞද්ධ මධ්‍යස්ථානය හෙවත් කවුරුත් හඳුන්වන රජවත්ත පිරිවෙනේ අති නිස්කලංක පරිසරයක වැඩ වාසය කරන මේ ස්වාමින් වහන්සේ හපුවල විමලානන්ද හිමියන්ය දෑස් තරමක් අන්ධ වුවත් සිය ගතත් සිතත් මෙහෙයවා අපූරූ කෘෂිකාර්මික විහාරස්ථාන භූමියක් ගොඩ නංවා ඇත. 

හුණුගල් ඔය ශ්‍රී ඥාණෝදය බෞද්ධ මධ්‍යස්ථානයේ වැඩ වාසය කරන හපුවල විමලානන්ද හිමියන් හතළිස් පස් වියැති අතර උන් වහන්සේ වයස අවුරුදු 07 දී පැවිදි ජීවිතයට ඇතුළත් වන්නේ නිරෝගී ලෙසය. එහෙත් කල්‍ යත්ම ටිකෙන් ටික උන් වහන්සේගේ දෑසම නොපෙනෙන තැනට පත්වන්නේ බුදු දහමේ පෙන්වන සියලු‍ සංස්කාරයන් අනිත්‍ය බව වඩාත් තහවුරු කරමිනි.

වයස අවුරුදු 21 වනවිට විමලානන්ද ස්වාමීන් වහන්සේගේ ඇස් දෙකේ පෙනීම එන්න එන්නම අඩු වූ අතර උන්වහන්සේ කොළඹ ජාතික රෝහලෙන් මෙන්ම පෞද්ගලික රෝහල්වලින් ප්‍රතිකාර සිදුකරන අතර වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ උන්වහන්සේගේ ඇස් දෙක සුව කළ නොහැකි බවයි.

බටහිර වෛද්‍ය විද්‍යාව මගින් සිදුකරන වෛද්‍ය ප්‍රථිකාර මගින් සිය අසනීප තත්ත්වය සුව කරගැනීමට නොහැකි බව අවබෝධ කර ගත් හපුවල විමලානන්ද ස්වාමීන් වහන්සේ ආයුර්වේද ප්‍රතිකාර කෙරෙහි විශ්වාසය තබන්නේ සිය ඇස් දෙක සුව කර ගැනීමේ තිර අදිටනින් යුක්තවය. පල්ලේකැළේ ආයුර්වේද රෝහලේ නේවාසිකව ප්‍රතිකාර පවා ලැබූ උන්වහන්සේට එයින්ද නිසි ප්‍රථිපල නොලැබුවේ සංසාරයේ කොතැනක හෝ තමන් සිදුකළ කර්මයන් පටිසන්දීම නිසාදෝ යන සිතිවිල්ලද උන් වහන්සේගේ සිතට නංවමින්ය.

දෑස නොපෙනුනද ඒ ගැන නොසිතමින් සිය පැවිදි ජීවිතය හා විහාරස්ථානයේ අභිවෘද්ධිය පිලිබදව උන්වහන්සේ මෙලෙස අදහස් දක්වා ඇත. 

“මේ පන්සල් පරිසරය හදාගන්න මට ලොකු ආශාවක් තියෙනවා. ඒ නිසා මම මේ වත්තේ වවන්න ගත්තා. පන්සල් වත්තේ එළවළු ටිකක් හදාගෙන තියෙනවා. එ සියල්ල කරන්නේ මමයි.නව තිස්පනේ කියන්නේ එළවළුවලට ජනප්‍රිය ප්‍රදේශයක්. හොඳට එළවළු වැවෙනවා. ගෝවා, මාලු‍ මිරිස්, අමු මිරිස් හොඳට වැවෙනවා. මගේ ඇස් දෙක පෙනුණේ නැති වුණාට මගේ හිත හොඳට හයියයි. මට ඕන වැඩක් කරන්න පුළුවන්. තේ වත්තේ තියෙන වල් පැල උදුරලා දාලා තේ ගස් ටිකට හොඳට සාත්තු කරලා බලා කියාගෙන ඉන්නවා. එතකොට බය නැතුව ඉන්න පුළුවන්. මම එහෙම කියන්න හේතුවක් තියෙනවා. මේ විහාරස්ථානයට අයත් දායක පවුල් ඉන්නේ ඉතා සීමිත ප්‍රමාණයක්. ඒ ඇත්තොත් බොහොම දුක් මහන්සියෙන් ජීවත්වෙන කොට්ඨාසයක්. ඔවුන්ටද හරි හමන් ස්ථිර ආදායම් ඇත්තේ නැහැ. යම් යම් දවස්වල දානේ නොලැබෙන අවස්ථාත් තියෙනවා. වත්තේ හරි හමන් දෙයක් වවලා කරලා තිබ්බොත් බැරි වෙලාවකට අපට ප්‍රයෝජන ගන්න පුළුවන්.

අනෙක් කාරණය තමයි මේ වත්තේ මම නාරං වගාවක් පටන් අරන් තියෙනවා. නාරංවලට බොහෝම හොඳ ඉල්ලු‍මක් වෙළෙඳපළ තුළ තියෙනවනේ. අනෙක කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් අනුමත දොඩම් වගාවක්ද මම පන්සල් වත්තේ ආරම්භ කරලා තියෙනවා.

මේ පන්සල් වත්තේ නෑ කියන්න දෙයක් නැහැ. කහ, ඉඟු‍රු සියල්ල මම හදලා තියෙනවා. ඊට අමතරව කෙසෙල් වගාවක් පන්සල් වත්තේ කරගෙන යනවා. මම මේ හැම දෙයක්ම කරන්නේ නොපෙනෙන ඇස් දෙකක් තියාගෙන කියන කාරණය අමතක කරන්න හොඳ නැහැ.

අපි මේ ලෝකෙට ඉපදුනා නම් අපි ජීවත් වෙන්න ඕනෑ. ඒ ජීවත් වෙන්න ඕන නිකම් නෙවෙයි. දැහැමෙන් සෙමෙන්. අපි ධාර්මික විය යුතුයි. අපි ධාර්මික නම් ඒ ධර්මයම අපිව ආරක්ෂා කරනවා කියන කාරණය අපේ බුදුරජාණන් වහන්සේම “ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී’’ කියලා දේශනා කරලා තියෙනවානේ.”