කොවිඩ් 19 පාලනයට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැඩි තීරණ රැසක්

289

කොරෝනා වෛරසය පැතිරයාමේ අවදානමක් පවතින බැවින් එය පාලනය කිරීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව දැඩි තීන්දු තීරණ ගැනීමට විශේෂ ක්‍රියාකාරී කාර්යසාධන සමාලෝචන කමිටුව තීරණය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය කියාසිටියේ පසුගිය දිනවල ජනතාව හැසිරුණු ආකාරය හේතුවෙන් රට තුළ නැවත වරක් කොරෝනා වෛරසය පැතිර යාමේ අවධානමක් පවතින බවයි.

ඒ අනුව අද රැස්වූ කමිටුව තීරණය කර ඇත්තේ දැඩි සත්කාර ඒකකවල ඇඳන් ධාරිතාවය වැඩි කිරීම,කොවිඩ් රෝගීන්ට අවශ්‍ය (high floor) හයි ෆ්ලෝ ඔක්සිජන් ලබා දීම,දත්ත රැස් කිරීමේ ක්‍රමවේදය ශක්තිමත් කිරීම සහ වෛද්‍යවරුන්,හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්යය මණ්ඩල සඳහා අවශ්‍ය පුද්ගල ආරක්ෂිත ඇදුම් වැඩිපුර ලබා දීමටයි.

එමෙන්ම කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ රෝගීන්ගේ රෝගී තත්ත්වයන් අනුව වෙන් වෙන් වශයෙන් ඔවුන් සුදුසු රෝහල් වෙත යොමු කිරීමට සැළසුම් සකස් කිරීම,ඉදිරියේදී කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරිමට ප්‍රාදේශීය හා දිස්ත්‍රික් මට්ටමින් තව තවත් රෝහල් හඳුනා ගැනීම සහ ඒවාට අවශ්‍ය වෛද්‍ය පහසුකම් සැපයීම,කොවිඩ් රෝගීන් සදහා ප්‍රතිකාර සේවාවන් පවත්වාගෙන යන අතරතුර දෛනිකව අනෙකුත් රෝග සඳහා ද රෝහල් ගතවන රෝගීන්ට ලබාදෙනු ලබන බාහිර හා නේවාසික ප්‍රතිකාර සේවාවන් සහ ශල්‍යකර්ම ශක්තිමත්ව පවත්වාගෙන යාමට ද තීරණය වී තිබෙනවා.

PCR පරීක්ෂණ සංඛ්‍යාව අවම වශයෙන් දිනකට 15,000 ක් දක්වා වැඩි කිරීම සහ නිරෝධායනය නීති සැමට දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම,නිරෝධායන නීති කඩකරන්නන්ට දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කර දඩුවම් ලබා දීම සාකච්ඡා වී ඇති අනෙක් කරුණු වනවා.

විදේශයන්හි සිට පැමිණෙන අය සඳහා විශේෂිත නිරෝධායන නීති සකස් කිරීම ද විශේෂ ක්‍රියාකාරී කාර්යසාධන සමාලෝචන කමිටුව තීරණය කර ඇති කරුණක්.