කොවිඩ් මඩින්න යාපනය යුධ හමුදා කාන්තා බලකායෙන් යතුරුපැදි මෙහෙයුම් කණ්ඩායමක් (PHOTOS)

546

කොවිඩ් අවධානම හේතුවෙන් පනවා ඇති සෞඛ්‍ය නීති උල්ලංඝනය කරන පිරිස් අත්අඩංගුවට ගැනීමට හා සෞඛ්‍ය නීති කඩ කරන්නන් සොයා බැලීමට යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් කාන්තා යුධ හමුදා සෙබළියන්ගෙන් සමන්විත විශේෂ කාන්තා යතුරුපැදි කණ්ඩායමක් ස්ථාපිත කොට ඇති බව යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය පවසනවා.

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා ගේ අධීක්ෂණය යටතේ අදාළ විශේෂිත කාන්තා නිළධාරී යතුරුපැදි බලඝනය ස්ථාපිත කොට තිබෙනවා.

ශ්‍රී ලංකා යුධ හමුදා හත්වන කාන්තා බලකායේ කාන්තා යුධ හමුදා නිළධාරියන්ගෙන් විශේෂිත කාන්තා යතුරුපැදි බළකාය ස්ථාපිත කොට ඇති බවද යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය පැවසුවේ.

යුධ හමුදා හත්වන කාත්නා බලකායේ මේජර් රශ්මි ගල්හේන ගේ මෙහෙයවීම යටතේ කාන්තා යතුරුපැදි බලකාය ක්‍රියාත්මක වේ.

සෞඛ්‍ය නීති උල්ලංඝනය කරන පිරිස් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම,හදිසි මාර්ග බාධක යොදා සෞඛ්‍ය නීතිවලට අනුගතව කටයුතු නොකරන පිරිස් අත්අඩංගුවට ගැනීම නව යතුරුපැදි බලකාය ස්ථාපිත කිරීමේ අරමුණ වන බවද යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය සඳහන් කර සිටියේ.

විශේෂිත කාන්තා යතුරුපැදි බලකාය පසුගිය 25 වැනිදා සිට සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කොට ඇති බවද යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය වැඩිදුරටත් සඳහන් කර සිටියා.