කොවිඩ් අරමුදලින් දැඩි සත්කාර ඇඳන්වත් අරන් නැහැ – විපක්ෂ නායකගෙන් ආණ්ඩුවට චෝදනා

91

කොවිඩ් වයිරසය පාලනය කිරීම සඳහා පිහිටුවන ලද අරමුදල්වලට ලැබුණු අති විශාල මුදල් භාවිත කරමින් දැඩිසත්කාර ඇඳන් ඇතුළු රෝගීන්ට අවශ්‍ය පහසුකම් සපයා දීමට පසුගිය වසරක කාලයේදී ආණ්ඩුව අසමත් වී ඇතැයි ද විපක්ෂ නායකවරයා සඳහන් කර සිටිනවා.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කරන ලද්දේ විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ (28) රක්ෂණ නියෝජිතයන් සමග පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව ජනමාධ්‍ය අමතමිනි.විපක්ෂ නායකවරයා එහිදී මෙසේ ද පැවසුවා.

‘‘අද දවස වන විට අපේ රට තුළ තුන්වන කොවිඩ් රැල්ල ඉතාමත්ම අභියෝගාත්මකව,භයංකාර ලෙස නිර්මාණය වෙමින් පවතිනවා. අද වන විට රට තුළ ප්‍රමාණවත් දැඩි සත්කාර ඇඳන් සංඛ්‍යාවක් නැහැ.රටට අත්‍යවශ්‍ය දැඩි සත්කාර ඇඳන් ප්‍රමාණය පසුගිය වසර එකහමාරක් කොවිඩ් කාලය තුළ ලබාගන්න රජය අපොහොසත් වුණේ මන්ද කියන එක බරපතළ ප්‍රශ්නයක්.කොවිඩ් අරමුදල් පිහිටෙව්වා.ඒ අරමුදල්වලට විශාල වශයෙන් මුදල් දායකත්වය ලැබුණා.අපට අහන්න සිද්ධ වෙනවා කොවිඩ් අරමුදලට විශාල ලෙස ලැබුණු මෙම අරමුදල්වලින් දැඩිසත්කාර ඇඳන් හිඟය සපුරාගන්න හැකියාව තිබුණා.

අද වන විට වාර්තාවන ආකාරයට රෝහල්වල සාමාන්‍ය ඇඳන් ප්‍රමාණයවත් ප්‍රමාණවත් නොවන තත්ත්වයක් ඇතිවෙලා.රටක් පාලනය කරනකොට ඉදිරි දැක්මක් තියෙන්න ඕනේ.ඉදිරියේදී සිදුවිය හැකි දේවල් පිළිබඳ සැලසුමක් තිබිය යුතුයි.අද වෛද්‍ය ක්ෂේත්‍රයේ සැලකිය යුතු පිරිසකටත් කොවිඩ් වැලඳිලා. සමහර රෝගීන් ඇඳන්,පහසුකම්,බෙහෙත්,උපකරණ හිඟතාවයෙන් මිය ගිහින් තියෙන බව අපට වාර්තා වෙලා තියෙනවා.මේක බොහෝම කනගාටුදායක තත්ත්වයක්.ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතට මොකද වුණේ කියලා අපට අහන්න සිද්ධ වෙනවා.රටේ සමස්ත ජනයාට අවශ්‍ය එන්නත් මාත්‍රා ලක්ෂ හාරසිය හතළිහ රටට ගෙන එන්න රජය අසමත් වුණේ ඇයි? අනවශ්‍ය විදිහට මිත්‍යාවාදී පැණි මත ආණ්ඩුව විශ්වාසය තබලා අද වන විට රටේ ජනතාවගේ ජීවිත අනතුරට පත්කරල තියෙන්නේ.මේ ආණ්ඩුවේ බුද්ධිමතුන්ට,වියතුන්ට තේරුණේ නැද්ද එන්නත් ලක්ෂ හාරසිය හතළිහ තමයි ජාතික ප්‍රමුඛතාව කියලා.අපි ඒවා පෙන්වලා දෙනකොට කුලී හේවායෝ නිර්මාණය කරලා මුහුණු පොතේ මඩගහන එක තමයි රජය සහ රජයේ තැරැව්කාරයන් කළේ.’’