කොරෝනා වෛරසය කවදාවත් ලෝකයෙන් තුරන් තුරන් වෙන්නේ නැහැ -WHO

319

කොරෝනා වෛරසය කිසිදු දිනක ලොවෙන් තුරන් නොවනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා ඇත. පසුගිය බදාදා (13 වැනිදා) පැවති සාකච්ඡාවකට එක්වෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි අවස්ථා පිළිබඳ අධ්‍යක්ෂ මයික් රයන් සඳහන් කළේ වෛරසය අවසන් වන දිනය පිළිබඳ අනාවැකි කීම භයානක විය හැකි බවයි.

වෛරසයට එරෙහිව එන්නතක් අනාගතයේදී සොයා ගනු ලැබුවද වසංගතය පාලනය කිරීම සඳහා දැවැන්ත උත්සාහයක් අවශ්‍ය වනු ඇතැයිද ඔහු පැවසීය. මේ වනවිට ලොව පුරා ලක්ෂ 03 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාවක් වෛරසය ආසාදනයවීමෙන් මරණයට පත්වී ඇති අතර රෝගී වූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂ 45කට ආසන්න වේ.

මේ අතර වංසගතය පුළුල් ලෙස මානසික රෝගවලටද හේතුවන බවටද එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා ඇත. විශේෂයෙන් මානසික සෞඛ්‍ය සඳහා අවශ්‍ය පමණින් ආයෝජන සිදුකර නොමැති රටවල ජන ජීවිතයට මෙම තත්ත්වය අයහපත් ලෙස බලපානු ඇතැයි එක්සත් ජාතීන් පවසයි.

පසුගිය බදාදා සාකච්ඡාවේදී වෛද්‍ය රයන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ කොවිඩ් -19 වෛරසයද ලෝක ප්‍රජාව අතර තවත් ආවේණික වෛරසයක් බවට පත්විය හැකි බවයි. එම නිසා එය පහව නොයනු ඇතැයිද හෙතෙම සඳහන් කරයි.

‘‘එච්.අයි.වී. වෛරසය මෙතෙක් පහව ගොස් නැත. අපි එය සමග ජීවත් වෙමින් සිටිමු. එම නිසා කොවිඩ් -19 වෛරසයද අවසන් වන්නේ කවදාදැයි කිසිවකුට අනාවැකි කිව නොහැක’’ යනුවෙන් ඔහු වැඩිදුරටත් පවසයි.