කොරෝනා වලට මුවා වී පිටරට වෛද්‍ය උපාධිධාරීන් විභාගයකින් තොරව මෙරට සේවයට එක් කර ගැනීමේ සැලසුමක්….!!

178

විදෙස් විශ්වවිද්‍යාලවලින් වෛද්‍ය උපාධි ලබා සිටින පිරිසට මෙරට (ඊ.ආර්.පී.එම්.) විභාගය සමත් වීමකින් තොරව වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීමට අවස්ථාව දෙන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශය කළ ඉල්ලීමක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ප්‍රතික්ෂේප කර තිබේ.

විදෙස් උපාධි ලබා ඊ.ආර්.පී.එම්. විභාගයට පෙනී සිට ඉන් අසමත් පිරිසට ද ලියාපදිංචිය ලබා දෙන ලෙසත් ඉල්ලා තිබූ බව වෛද්‍ය සභා ආරංචි මාර්ග අනාවරණය කළේය. මෙම ඉල්ලීම කර ඇත්තේ වසංගත තත්ත්වයක් පවතින මේ මොහොතේ මෙරට වෛද්‍ය සේවය සඳහා ප්‍රමාණවත් වෛද්‍යවරුන් නොමැති බව සඳහන් කරමින් යැයි ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියකුගේ අවශ්‍යතාව මත මෙම ඉල්ලීම ඉදිරිපත් වී ඇතැයි මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පැවසීය. මෙරට වෛද්‍ය උපාධිය අවසන් කළ හා විදෙස් වෛද්‍ය උපාධිය ලබා ඊ. ආර්.පී.එම්. විභාගය සමත් පන්සියයකට අධික පිරිසක් තවමත් පත්වීම් නොමැතිව සිටින බවත් එසේ තිබියදී මෙරට වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින බවට කරන ප්‍රකාශ කිසිසේත් පිළිගත නොහැකි බවත් ලේකම්වරයා සඳහන් කළේය.

කවර තත්ත්වයක් යටතේ වූව ද නුසුදුස්සන්ට වෛද්‍යවරුන් ලෙස ලියාපදිංචි වීමට ඉඩ නොදෙන බව ද හෙතෙම සඳහන් කළේය. සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ තනතුරු දරන වෛද්‍යවරුන්ගේ දරුවන්ද මේ වනවිට විදෙස් රටවල වෛද්‍ය උපාධිය හදාරා පැමිණ සිටින පිරිස අතරට අයත් වන බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචිමාර්ග සඳහන් කරයි.