කොරෝනා මරණ 160000 ඉක්මවයි-බ්‍රිතාන්‍යයේ වැඩිහිටියන් සහ ආබාධිතයින් 4000ක් මරුට.!!!!

259

කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් සිදුවූ මරණ ගණන එක්ලක්ෂ හැටදහස ඉක්මවා ඇත.

අමෙරිකානු ජනාධිපතිවරයා අනතුරු අඟවා ඇත්තේ, කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් චීනය වගකිව යුතු නම් එහි ප්‍රතිඵල භුක්තිවිදීමට ඔවුන් සූදානම් විය යුතු බවයි.

මේ අතර, කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් බ්‍රිතාන්‍යයේ සාත්තු නිවාසවල සිටි වැඩිහිටි සහ ආබාධිත පුද්ගලයින් 4,000 ක් මියගොස් තිබේ.

යම් හෙයකින් කොවිඩ් වෛරස ව්‍යාප්තිය සදහා චීනය දැනුම්වත්ව වගකිවයුතු නම්, ඊට නිසි ඵලවිපාක විදීමට චීනය සූදානම් විය යුතු බව, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවීය.

දෛනික කොවිඩ් මාධ්‍ය හමුවට එක්වෙමින් මේ බව සදහන් කළ ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසන්නේ, එය අත්වැරදීමක් නම් සමාව දියහැකි බවයි.

කොවිඩ් වෛරස ව්‍යාප්තියෙන් වැඩිම බලපෑමකට ලක්වූ අමෙරිකාවෙන් ඊයේ (18) දිනයේ පමණක් ආසාදිතයින් 33,400ක් හමුවූයේ එරට ආසාදිතයින් ගණන හත් ලක්ෂ 738,923ක් දක්වා ඉහළ දමමින්.

ඊයේ දිනයේදී පමණක් එරටින් මරණ 1,867ක් වාර්තා වූ අතර සමස්ත මරණ ගණන 38,910 ලෙස ඉහළ ගියේය.

අමෙරිකානු පර්යේෂකයින් පිරිසක් පවසන්නේ, කොවිඩ් නයින්ටීන් පාලනයට රට තුළ දෛනිකව පරික්ෂණ ලක්ෂ 5කට වැඩි ප්‍රමාණයක් සිදුකළ යුතු බවයි.

කෙසේ වෙතත්, අමෙරිකාව තුළ දැනට දෛනිකව සිදුකෙරෙන පරික්ෂණ සංඛ්‍යාව එක්ලක්ෂ පනස්දහසකට සීමා වී තිබේ.

මේ අතර සංචරණ සීමා ඉවත්කර නැවතත් දෛනික රාජකාරි ආරම්භ කරන ලෙසත්, ධවල මන්දිර කොවිඩ් මර්දන කාර්ය සාධක බලකායේ ප්‍රධානී ඇන්තනී ෆවුචි ධුරයෙන් පහකරන ලෙසත් ඉල්ලා අමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයක විරෝධතා සංවිධානය වී තිබේ.

කෙසේ නමුත් ඇන්තනී ෆවුචි, බහුතර අමෙරිකානුවන් අතර ප්‍රකටව ඇත්තේ සෘජු නිලධාරියෙකු මෙන්ම ජාතික වීරයෙකු ලෙසයි.

කොවිඩ් ව්‍යාප්තියෙන් පීඩාවට පත් ස්පාඤ්ඤයේ දැනට පවතින දැඩි සංචරණ සීමා තවත් දින 15කින් දීර්ඝ කිරීමට ජනාධිපති පෙඩ්‍රෝ සැන්චෙස් පියවර ගනිමින් සිටියි.

එහෙත් ළමුන් සඳහා පනවා තිබූ දැඩි සීමා ලබන 27වැනිදා ලිහිල් කිරීමට රජය තීරණය කර ඇති අතර ඒ යටතේ සති ගණනක් නිවෙස්වලට කොටු වී සිටි ළමුන්ට, ඉන් පිටතට යාමට අවසර හිමි වේ.

කෙසේ වෙතත් ස්පාඤ්ඤයේ කොවිඩ් මරණ සංඛ්‍යාව ඊයේ දිනයේදී 20,000 ඉක්මවා ඇත.

එරට ආසාදිතයින් සංඛ්‍යාව අද වන විට වාර්තා වූයේ 195,944ක් ලෙසයි.

අමේ අතර වෛරසයේ වැඩි බලපෑමකට ලක්වූ යුරෝපා රාජ්‍යයන් වූ ඉතාලිය, ප්‍රංශය, බ්‍රිතාන්‍යය, බෙල්ජියම සහ ජර්මනිය යන රටවලින් ගතවූ පැය 24දීත් මරණ රැසක් වාර්තා වී තිබුණි.

එය දැක්වුණේ ඉතාලියෙන් මරණ 482ක්, ප්‍රංශයේ මරණ 642ක්, බ්‍රිතාන්‍යයේ 888ක්, බෙල්ජියමේ 290ක් සහ ජර්මනියේ මරණ 186ක් ලෙසින්.

මේ අතර සිය 94වැනි ජන්ම දිනය වෙනුවෙන් පැවැත්වෙන නිල ආචාර වෙඩිමුර සංදර්ශනය අවලංගු කරන්නැයි බ්‍රිතාන්‍ය යේ දෙවැනි එලිසබත් මහා රැජිණ ඉල්ලීමක් කර තිබේ.

එය සැලකෙන්නේ රැජිණගේ 68 වසරක් වන රාජ්‍යත්ව සමයේදී මෙවන් ඉල්ලීමක් කළ පළමු අවස්ථාව ලෙසයි.

මේ අතර බ්‍රිතාන්‍ය යේ ඇති සාත්තු නිවාසවල රැකවරණය ලබමින් සිටි වැඩිහිටි සහ ආබාධිත පුද්ගලයින් 4,000කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි වාර්තා පළවී තිබේ.

මේ අතර ජපානයේ කොවිඩ් ආසාදිතයින් ගණන කෙටි කාලයකින් දස දහස ඉක්මවා ගොස් ඇත.

කෙසේ නමුත් එරට සෞඛ්‍ය අංශ සැක පළකරන්නේ, ඉදිරියේදී උදාවිය හැකි අවදානමට මුහුණදීමට සිය සෞඛ්‍ය සේවා පද්ධතිය තවමත් සූදානම් නොමැති බවයි.

අසල්වැසි ඉන්දියාවෙන් ගතවූ දිනයේදීත් මරණ 35ක් වාර්තා වුණේ සමස්ත මරණ ගණන 521ක් දක්වා ඉහළ නංවමින්.

එරට ආසාදිතයින් ගණනද, 15,722ක් ලෙසින් දැක්විය.

මේ අතර කොවිඩ් මැඬලීමේ සටනේ නියමුවන් සිහිපත්කිරීම සදහා ඉන්දියාවේ සුප්‍රකට ස්ථාන පහන් දල්වා ආලෝකමත් කිරිමට කටයුතු යොදා තිබුණේය.

මේ අතර ඇදිරිනීතිය නොකමින් විවාහ වීම සදහා කිලෝමීටර් 800ක පමණක් දුර පාපැදියක නැගී ගමන්කළ තරුණයෙකු පිළිබද ඉන්දියාවෙන් වාර්තා වේ.

පොලිස් අත්අඩංගුවට පත් වූ තරුණයා, නිරෝධායනය සදහා යොමුකෙරුණේය.

මේ අතර අමෙරිකානු හමුදා ඇකඩමියේ, වාර්ෂික විසිරයාමේ උත්සවය වෙනදාට වඩා වෙනස් ආකාරයෙන් පැවැත්වුණේය.

ලෝක ප්‍රකට ගායන සහ රංගන ශිල්පීන් සියයකගේ සහභාගිත්වයෙන් ද වන් වර්ල්ඩ් ටුගෙදර් ඇට් හෝම් නම් අන්තර්ජාල ප්‍රසංගය ඊයේ රාත්‍රියේදී විකාශය කෙරුණි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දායකත්වයෙන් පැවැත්වෙන මෙම ප්‍රසංගයට ලේඩි ගාගා, ජෙනිෆර් ලෝපේස්, ෂාරුක් ඛාන් මෙන්ම ටේලර් ස්විෆ්ට් ඇතුලු සුප්‍රකට ශිල්පීන් රැසක් එක් වූයේ සිය නිවෙස්වල සිටයි.

ලොව පුරා සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඇගයීම සහ අරමුදල් එක් කිරීම වෙනුවෙන් පැවැති මේ සංගීත ප්‍රසංගය පැය අටකට වැඩි කාලයක් පැවැත්වීම විශේෂත්වයක්.

එහිදී රැස්වූ මුදල අමෙරිකානු ඩොලර් මිලියන 128ක්.