කොරෝනා ගැන හරි තොරතුරු නොදුන්නයි කියා ට්‍රම්ප් ලෝක සෞඛ්‍ය සංවිධානයට දෙන ආධාර කපාහරී

179

ලෝක සෞඛ්‍ය සංවිධානයට ඇමරිකාවේ මුදල් නොදෙන බවත් මෙතෙක් කරන ලද මූල්‍ය පරිත්‍යාග කපාහරින බවටත් ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අනතුරු අඟවයි.

එම සංවිධානය චීනයට පක්ෂපාතී යැයි ද ඊට එරෙහිව දැඩි පියවරක් ගන්නේ යැයි ද ඇමෙරිකානු ජනාධිපතිවරයා පැවැසීය. ‘කොවිඩ්-19’ හෙවත් කොරෝනා වසංගතයේ නවතම තොරතුරු දැනුම්දීම සඳහා ධවල මන්දිරයේදී දිනපතා පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින් ජනාධිපති ට්‍රම්ප් ඒ බව කීය . එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් ලෝක සෞඛ්‍ය සංවිධානයට වැඩිම මූල්‍ය දායකත්වයක් ලබාදෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයයි.

‘‘ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා වයිරසය ගැන වැරැදියට කිව්වේ. ඔවුන්ට තිබුණා මීට මාස ගණනකට කලින් අනතුරු අඟවන්න’’ යැයි ඇමෙරිකානු ජනාධිපතිවරයා කීය . කොරෝනා වයිසරයේ ව්‍යාප්තියත් සමඟ ලෝක සෞඛ්‍ය සංවිධානය ජනවාරි 30 වැනිදා හදිසි මහජන සෞඛ්‍ය තත්ත්වයක් ප්‍රකාශ කළේය. ඇමෙරිකාව තුළ සියල්ල පාලනය කර ඇතැයි ජනාධිපති ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් නිකුත් කිරීමට මසකට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානය එලෙස හදිසි මහජන සෞඛ්‍ය තත්ත්වයක් ප්‍රකාශ කළේය. ඇමෙරිකා එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබාදෙන මූල්‍ය දායකත්වය ඇමෙරිකානු ඩොලර් මිලියන 122.6ත් ඩොලර් මිලියන 57.9ත් අතර වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත .

ජනවාරි සහ පෙබරවාරි මාසවලදී කොරෝනා වයිරසය සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපතිවරයාට දැනුම් දුන්නද ඔහු ඒවා ගණනකටවත් ගෙන නැතැයි ද විදෙස් මාධ්‍ය මේ වනවිට අනාවරණය කර ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා වයිරසය ගෝලීය වසංගතයක් යැයි ප්‍රකාශ කිරීමෙන් පසුව ද ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එය එතරම් ගණනකට නොගත්තේය .