කොරෝනා ආසාදිත යැයි පවසන තරුණියක සමඟ අනියම් පෙම් සුව විඳින්න ගිය 65 හැවිරිදි ගණකාධිකාරිවරයාට සිදු වූ අකරතැබ්බය

165

65 හැවිරිදි විශ්‍රාමික ගණකාධිකාරිවරයකු විසින් අනියම් ඇසුරක් සඳහා ලැඟුම්හලට කැඳවාගෙන ගිය තරුණිය කොවිඩ් රෝගියකු යැයි පවසා එම ආරංචිය ගණකාධිකාරිවරයාගේ බිරිඳට සහ ගමට පැතිරයෑම වැළැක්වීම සඳහා විස්කි බෝතල් 25 ක කප්පමක් ගත් පුද්ගලයා රුපියල් ලක්‍ෂ 5 බැගින් ශරීර ඇප දෙකක් මත රිමාන්ඩ් භාරයෙන් මුදාහැරීමට මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් ටී.එන්.එල්.මහවත්ත මහත්මිය නියෝග කළාය

ඔහු අපරාධ පරීක්‍ෂණ නිලධාරියකු ලෙස ව්‍යාජව පෙනී සිට ඇත.

ඇප නියම කිරීමට පෙර සැකකරු විස්කි කප්පම් සඳහා ලබාගත් රුපියල් ලක්‍ෂ 2 1/2 ක මුදල ජ්‍යෙෂ්ඨ නීතිඥ නාලක ප්‍රනාන්දු මහතා විසින් නඩුවේ පැමිණිලිකරු වන ගණකාධිකාරි වෙත අධිකරණයේදී භාරදෙන ලදී.

ඇප නියම වූ සැකකරු වූයේ වේයන්ගොඩ ඉහළගම පාරේ පදිංචි ව්‍යාපාරිකයෙකි.

සැකකරුට එරෙහිව කොච්චිකඩේ පොලිසිය විසින් ගොනුකරන ලද පැමිණිල්ල අනුව කොච්චිකඩේ තෝප්පුව ප්‍රදේශයේ පදිංචි ගණකාධිකාරිවරයා ලාබාල තරුණියන්ට වැඩි කැමැත්තක් දක්වයි.ඔහු පසුගිය දිනක තහනම් ඇසුරක් සඳහා ලාබාල සුරූපී තරුණියක් කැඳවාගෙන සීදුව ප්‍රදේශයේ ලැඟුම්හලක් වෙත ගොස් ඇත.මෙම ගණකාධිකාරිවරයා නිතර නිතර ළාබාල තරුණියන් කැඳවාගෙන එම ලැඟුම්හලට පැමිණෙන බව ඇප ලැබූ සැකකරු සහ ඔහුගේ මිතුරන් දෙදෙනකු දැක තිබේ.ඒ එක් අයෙකු වැඩ තහනමට ලක් වූ පොලිස් නිලධාරියෙකි.

පසුව මෙම තිදෙනා සී. අයි. ඩී වෙස්ගෙන ගණකාධිකාරිවරයාගේ කොච්චිකඩේ තෝප්පුවේ නිවසට ගොස් ඇත. එහිදී ඔවුන් සී. අයි. ඩී. නිලධාරීන් බව පවසා ඇත. ඔවුන් විසින් ගණකාධිකාරිවරයාට පවසා ඇත්තේ ගණකාධිකාරිවරයා පසුගිය සතියේ ඇසුර සඳහා කැඳවාගෙන ගිය තරුණිය කොවිඩ් ආසාදිත අයෙක් බවය. ඇය සමඟ ඇසුරු කළ ගණකාධිකාරිවරයාද නිරෝධායනයට ලක්කළ යුතු බැවින් ඔවුන් සමඟ නිරෝධායන කඳවුරට යෑමට සූදානම් වන ලෙසද පවසා ඇත.

නිවසේ විවාහක බිරිඳ සිටීමත් තම වයස සැලකිල්ලට ගත් ගණකාධිකාරිවරයා මෙම ප්‍රශ්නය ගොඩින් විසඳාගැනීම සඳහා යෝජනා කර ඇත. එහිදී ව්‍යාජ සී.අයි.ඩී නිලධාරීන් විසින් ඒ සඳහා විස්කි බෝතල් 25 ක් ඉල්ලා ඇත. ගණකාධිකාරිවරයා ඔවුනට විස්කි මිලදී ගැනීමට රුපියල් ලක්‍ෂ 2 1/2 ක් ලබාදී තිබේ. පසුව තමා වංචාවකට හසුවූ බව ඒත්තුයෑම නිසා ගණකාධිකාරවරයා මේ බව කොච්චිකඩේ පොලිසියට පැමිණිලිකර ඇත. මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශන සිදුකළ මීගමුව අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්‍ෂක රාජකරුණා මහතා මෙම නඩුවට අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා රිමාන්ඩ් භාරයට පත්කොට තිබිණි.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේ සැකකරු විසින් මෙම නඩුවේ පැමිණිලිකරුට ජ්‍යෙෂ්ඨ නීතිඥ නාලක ප්‍රනාන්දු මහතා මගින් විස්කි සඳහා කප්පම් වශයෙන් ලබාගත් රුපියල් ලක්‍ෂ 2 1/2 ආපසු ගෙවන ලදී. සැකකරුට රුපියල් ලක්‍ෂ 5 බැගින් ශරීර ඇප නියම විය. අනෙක් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වෙයි. කොච්චිකඬේ පොලිසිය පැමිණිල්ල මෙහෙය විය. විත්තිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ නාලක ප්‍රනාන්දු මහතා පෙනී සිටියේය.

දිවයින
මීගමුව සමූහ – විමල් කීර්ති