කොදෙව්වන්ට එරෙහිව 3-0 ක් ලෙස පුර්ණ තරගාවලි ජයග්‍රහණයක් – ඇන්ජෙලෝ ගේ අන්තිම ඕවරය අති විශිෂ්ටයි 

300

ඕවර 50 යි – 9/301 අති විශිෂ්ටයි

කොදෙව් පිලට ජයග්‍රහණය සඳහා අවසන් ඕවරයේදී ලකුණු 13 ක් ලබාගැනීමට අවශ්‍ය වුවද එය වැලකූ ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්විය. ඒ අනුව තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 3-0 ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්වූයේය.

කොදෙව්ජ පිලට ජයග්‍රහණය සඳහා අවසන් ඕවර 5 තුලදී ලකුණු 59 ක් අවශ්‍ය වුවද කඩුලු 5 ක් අහිමිකර ගත් ඔවුන් රැස්කිරීමට හැකිවූයේ ලකුණු 52 ක් පමණි.

කළකට පසුව පන්දු යැවීමේ නිරතවූ ඇන්ජලෝ මැතිව්ස් ඕවර 10 තුලදී ලකුණු 59 කට කඩුලු 4 ක් දවා ගැනීමට සමත්විය.

………………………………………………………………………………………………………………….‍‍…………………

ඕවර 45 යි – 4/249

කොදෙව් පිලට ජයග්‍රහණය සඳහා පන්දු 30 කදී ලකුණු 59 ක් අවශ්‍ය වෙයි.

ඩැරන් බ්‍රාවෝ – දුවද්දී දැවී ගියා 8 (පන්දු 12)

………………………………………………………………………………………………………………….‍‍…………………

ඕවර 40 යි – 3/219

ඕවර 40 ක් අවසන් වනවිට ශ්‍රී ලංකාවේ සහ කොදෙව් පිලේ ලකුණු සම තත්වයේ පසුවිය. අවසන් ඕවර 10 තුලදී ශ්‍රී ලංකාව ලකුණු 88 ක් ලබාගත් අතර කොදෙව් පිල අවසන් ඕවර 10 තුලදී ජයග්‍රහණය සඳහා ලකුණු 89 ක් ලබාගත යුතුව ඇත.

වනිඳු හසරංගට තවත් ඕවර 2 ක් යැවීමට ඉතිරිව ඇති අතර ධනංජය ද සිල්වාට තවත් ඕවර 5 ක් යැවීමට ඉතිරිව ඇත.

තෙවැනි කඩුල්ල ලෙස නිකලස් පූරන් ලකුණු 50 කට දවාගැනීමට ඇන්ජලෝ මැතිව්ස් සමත්විය.

නිකසල් පූරන් – ඇ.දසුන් ශානක (අතිරේක) ප.මැතිව්ස් 50 (පන්දු 61 4×3, 6×1)

………………………………………………………………………………………………………………….‍‍…………………

ඕවර 35 යි – 2/187

කොදෙව් ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස ෂායි හෝප් ලකුණු 72 කට දවා ගැනීමට ඉසුරු උදාන සමත්විය. ජයග්‍රහණය සඳහා පන්දු 90 කදී තවත් ලකුණු 121 ක් කොදෙව් පිලට අවශ්‍ය වෙයි.

ෂායි හොප් – ඇ.මෙන්ඩිස් ප.උදාන 72 (පන්දු 88, 4×6)

………………………………………………………………………………………………………………….‍‍…………………

ඕවර 30 යි – 1/169

ඕවර 30 ක් අවසානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුුලු 3 ක් දැවී ලකුණු 165 ක් රැස්කර සිටි අතර කොදෙව් කණ්ඩායම මේ වනවිට කඩුල්ලක් දැවී ලකුණු 169 ක් රැස් සිටින්නේය. අවසන් ඕවර 10 තුලදී ශ්‍රී ලංකාව ලකුණු 73 ත් ලබාගන්නා විට කොදෙව්වන්ට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 50 ක් පමණි.

………………………………………………………………………………………………………………….‍‍…………………

ඕවර 20 යි – 1/119

ඕවර 20 ක් අවසානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුුලු 2 ක් දැවී ලකුණු 92 ක් රැස්කර සිටි අතර කොදෙව් කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 119 ක් රැස් කරමින් සාර්ථක පිතිහරඹයක නිරත වන්නේය.

පන්දු 51 කදී සිය 17 වැනි එක්දින අර්ධ ශතකය ලබාගැනීමට ෂායි හෝප් සමත්විය.

සුනිල් ඇම්බ්‍රිස් – ප.වනිඳු හසරංග 60 (පන්දු 60, 4×6, 6×1)

පළමු කඩුල්ල සඳහා පන්දු 111 කදී ලකුණු 111 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සුනිල් ඇම්බ්‍රිස් සහ ෂායි හෝප් සමත්වූහ.

………………………………………………………………………………………………………………….‍‍…………………

ඕවර 15 යි – 0/92

ඕවර 15 ක් අවසානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 70 ක් රැස්කර සිටි අතර කොදෙව් කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 92 ක් රැස් කරමින් ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටින්නේය.

මිනිත්තු 63 ක් කඩුල්ල් රැඳී සිටිමින් පන්දු 49 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් සිය දෙවැනි එක්දින අර්ධ ශතකය ලබාගැනීමට සමත්විය.

………………………………………………………………………………………………………………….‍‍…………………

ඕවර 10 යි – 0/64

කොදෙව්වන්ගෙන් සාර්ථක ආරම්භයක්

ෂායි හෝප් සුනිල් ඇම්බ්‍රීස් එක්ව ඉනිමේ 10 වැනි ඕවරය නිමා වන විට ලකුණු 6.40 කට වැඩි වේගයක් රඳවා ගනිමින් තමන්ගේ කඩුලු ආරක්ෂා කර ගනිමින් ජයග්‍රහණයට අවශ්‍ය අඩිතාලම දමමින් සිටිති.

මේ වනවිට ෂායි හෝප් පන්දු 31 කදී ලකුණු 35 ක් සහ සුනිල් ඇම්බ්‍රීස් පන්දු 29 කදී ලකුණු 28 ක් ලබාගනිමින් පන්දුවට පහරදෙති.

………………………………………………………………………………………………………………….‍‍…………………

ලකුණු 308 ක ඉලක්කයක් හඹා යෑමට ආරම්භක  පිතිකරුවන් ලෙස ෂායි හෝප් සුනිල් ඇම්බ්‍රීස් පිටියට පිවිසෙති. නුවන් ප්‍රදීල් පන්දු යැවීම සඳහා සුදානම් වෙයි.

………………………………………………………………………………………………………………….‍‍…………………

ඕවර 50 යි – 10/307

කොදෙව්වන්ට ලකුණු 308 ක ඉලක්කයක්

අවසන් ඕවර 10 දී කඩුලු 5 ක් අතැතිව තබාගැනීමේ වාසිය උපරිම වශයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ නියමිත ඕවර 50 අවසානයේදී සියලු දෙනා දැවී ලකුණු 307 ක් ලබාගත්හ. අවසන් ඕවර 10 දී ශ්‍රී ලංකා පිතිකරුවන් ලබාගත් ලකුණු සංඛ්‍යාව 88 කි.

අලංකාර අර්ධ ශතකයක් ලබාගත් ධනංජය ද සිල්වා (51) සමග එක්ව තිසර පෙරේරා (38) හයවැනි කඩුල්ල වෙනුවෙන් රැස්කළ ලකුණු 64 ක සම්බන්ධතාව ශ්‍රී ලංකා කණ්ඩායම මෙම ලකුණු සංඛ්‍යාව කරා යාමේ පදනම විය. පසුව පැමිණි වනිඳු හසරංග ලබාගත් ලකුණු 16 වෙනුවෙන් ඔහු මුහුණ දුන්නේ පන්දු 9 කට පමණක් වූවද අවසන් ඕවරයේදී ජේසන් හෝල්ඩර් හමුවේ ගැසූ හයේ පහර කලකට අමතක නොවන්නකි. ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 300 කඩයිම පසුකර ගියේ එම හයේ පහරනි.

………………………………………………………………………………………………………………….‍‍…………………

තුන්වැනි අවසරයෙන් ප්‍රයෝජන ගැනීම

ඕවර 40 යි – 5/219

ඉනිමේ 30 වැනි ඕවරයත් 40 වැනි ඕවරයත් අතර ලකුණු 54 ක් ලබාගත් ශ්‍රී ලංකා පිතිකරුවෝ අවසන් ඕවර 10 වන විටත් කඩුලු 5 ක් අත තබාගත්තේ තුන්වැනි වතාවට ලැබෙන අධිවේගී ලකුණු රැස්කිරීමේ අවසරයෙන් ප්‍රයෝජන ගැනීමේ අටියෙනි. ඉදිරිපෙළ පිතිකරුවකු වන ධනංජය ද සිල්වා මෙන්ම ප්‍රහාරයේ විශේෂඥයා වන තිසර පෙරේරාත් ඒ වන විට කඩුල්ලේ සිටියහ.

ධනංජය ද සිල්වා ඕනෑම අවස්ථාවකට ගැලපෙන පරිදි සිය පහර වෙනස් කරමින් ලකුණු ලබාගැනීමේ රුසියෙකි. තිසර පෙරේරා කවුරුන්ද යන්න ලෝකයම දනිතත් තිසර පමණක් තමන්ගේ තරම නොදන්නා සෙයකි. එක්දින තරග වලදී ඔහු ඒ තරම්ම වටිනා ක්‍රීඩකයෙකි.

………………………………………………………………………………………………………………….‍‍…………………

කුසල්ලා දෙදෙනා ප්‍රහාරයට පදනම දමති

ඕවර 25 යි – 1/123

කඩුලු ආරක්‍ෂා කරගනිමින් ප්‍රවේසමෙන් ලකුණු රැස්කළ ශ්‍රී ලංකා පිතිකරුවෝ ඉනිමේ අවසන් කොටසේදී ප්‍රහාරය ආරම්භ කිරීමට සැලසුම් කරමින් සිටිති. ඉනිමේ 10 වැනි ඕවරයත් 25 වැනි ඕවරයත් අතර ඕවර 15 කදී ලබාගත හැකිවූයේ ලකුණු 63 ක් පමණක් වූ නමුත් කඩුලු ආරක්‍ෂා කරගැනීමට කුසල්ලා දෙදෙනා සමත් වූහ.

කුසල් ජනිත් පෙරේරා ගැසූ පහරකින් විදුලි වේගයෙන් ඇදී ගිය පන්දුවක් ෂෝට් එක්ස්ට්‍රා කවර්ස්හි සිටි රොස්ටන් චේස් අතින් ගිළිහී ගියේය. උඩපන්දුව ගිළිහී යන විට ලකුණු 7 ක් පමණක් ලබා සිටි පෙරේරා, 25 වැනි ඕවරය නිමා වන විට පන්දු 41 කින් ලකුණු 25 ක් ලබා සිටියේය.

කුසල් මෙන්ඩිස් ලබා සිටි ලකුණු 20 ට වැයවූයේ පන්දු 21 ක් පමණි. රොස්ටන් චේස් හමුවේ ගැසූ දැවැන්ත හයේ පහරක්ද ඊට ඇතුළත් විය.

………………………………………………………………………………………………………………….‍‍…………………

අවිශ්ක – දිමුත් සාර්ථක ආරම්භයක

ඕවර 10 යි – 0/60

අධිවේගී ඕවර 10 දී හැකි උපරිම ලකුණු සංඛ්‍යාවක් ලබාගැනීමට උත්සුක වූ නමුත් තමන්ගේ කඩුලු නිස්කාරණේ වීසිකර නොදැමීමට අවිශ්ක ප්‍රනාන්දු මෙන්ම දිමුත් කරුණාරත්නත් පරෙස්සම් වූහ.

10 වැනි ඕවරය නිමා වන විටත් ශ්‍රී ලංකා පිල ෂතුව කඩුලු 10 ම තිබිණ. ලකුණු හඹා යාමේ නිදහස අවිශ්ක ප්‍රනාන්දුට (නොදැවී 29) පැවරූ නායක දිමුත් කරුණාරත්න (නොදැවී 27) පිටියේ පරතරයන් පාදාගනිමින් ලකුණු ලබාගනිමින් සිටියේය.

………………………………………………………………………………………………………………….‍‍…………………

අවිශ්ක – දිමුත් සාර්ථක ආරම්භයක

ඕවර 5 යි – 0/32

අලංකාර ස්ට්‍රේට් ඩ්‍රයිව් පහර කිහිපයකින්ම ෂෙල්ඩන් කොට්ට්‍රල්ට සහ ජේසන් හෝල්ඩර් දෙදෙනාට සංග්‍රහ කළ අවිශ්ක ප්‍රනාන්දු සහ දිමුත් කරුණාරත්න ඉනිමේ 5 වැනි ඕවරය නිමා වන විට ලකුණු 6.00 කට වැඩි වේගයක් රඳවා ගනිමින් තමන්ගේ කඩුලු ද ආරක්ෂා කරගත්හ.

කොට්ට්‍රල්ගේ පළමු ඕවරය නිලකුණු ඕවරයක් වූ නමුත් ප්‍රවේසමෙන් පන්දු යවන්නා අධ්‍යනය කළ ආරම්භක පිතිකරුවෝ දුර්වල පන්දුව දුටුතැන පහර දුන්හ. කොට්ට්‍රල්ගේ දෙවැනි ඕවරයේදී චිත්තාකර්ශනීය හතරේ පහර දෙකක්ද සමගින් ලකුණු 14 ක් ලබාගැනීමට අවිශ්ක ප්‍රනාන්දු සමත් වූ අතර හෝල්ඩර්ගේ දෙවැනි ඕවරයේදී දිමුත් සහ අවිශ්ක ලකුණු 10 ක් ලබාගත්හ.

………………………………………………………………………………………………………………….‍‍…………………

අවිශ්ක – දිමුත් ඉනිම අරඹති

පස්වරු 2.30

අවිශ්ක ප්‍රනාන්දු සහ දිමුත් කරුණාරත්න ඉනිම අරඹති. වමතින් වේග පන්දු යවන හිටපු සොල්දාදුවා, ෂෙල්ඩන් කොට්ට්‍රල් පන්දු යැවීම අරඹයි.

අවිශ්ක මුහුණ දුන් කොට්ට්‍රල්ගේ පළමු ඕවරය නිලකුණු ඕවරයකි. ජේසන් හෝල්ඩර් අනෙක් අන්තයෙන් පන්දුව බාරගනී.

………………………………………………………………………………………………………………….‍‍…………………

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

පස්වරු 2.00

පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී අද (1 වැනිදා) පැවැත්වෙන තුන්වැනි සහ අවසන් එක්දින තරගයේදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය. ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස් කමක් නොවේ. පළමු තරග දෙකේදීම ක්‍රීඩා කළ ක්‍රීඩකයන් 11 දෙනාම අද තරගය සඳහාත් යොදවා තිබේ.

කොදෙව් පිල වෙනුවෙන් ක්‍රීඩා කළ කීමෝ පෝල් වෙනුවට පා දඟ පන්දු යවන හේඞ්න් වොල්ෂ් කැඳවා ඇත.

………………………………………………………………………………………………………………….‍‍…………………

පස්වරු 1.30

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර තුන්වැනි එක්දින තරගයට සියල්ල සූදානම් කෙරෙමින් පවතී.

ඉතා දැඩි හිරුරැස් පල්ලෙකැළේ ක්‍රීඩාංගණයට පතිත වී තිබේ. දෙපිලේම ක්‍රීඩකයෝ ඇඟ උණුසුම් කිරීමේ ව්‍යයාම වල නිරතව සිටිති. කොදෙව් වේග පන්දු යවන්නෝ කිහිප දෙනෙක් දුර මැනීමේ පටියක් රැගෙන විත් තම තමන් පන්දු යැවීමේදි දිව එන සීමාව ලකුණු කරමින් සිටිති.