කුසල් – හසරංග උත්සාහය අපතේ යයි, පවර් ප්ලේ එකේ විකට් 5ක් වැටුන එක ලොකු පාඩුවක් උනා- කුසල්

232

ගිණිකෙළි සංදර්ශනයක් වන් කොදෙව් පිතිකරුවන්ගේ ප්‍රහාරයට පසුව ඕවර 3 කදී ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු සියල්ලම සීසීකඩ යැවූ ඔෂේන් තෝමස් (28/5) මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී අද (4 වැනිදා) පැවැති පළමු විස්සයි-20 තරගයේදී කොදෙව් පිල ලකුණු 25 ක ජයක් කරා කැඳවාගෙන ගියේය.

ඇදහිය නොහැකි ප්‍රහාරයකට ලක්වීමෙන් පසුව ලකුණු 197 ක ඉලක්කයක් කරා යමින් සිටි ශ්‍රී ලංකා පිලේ ලකුණු පුවරුව ඕවර 6 ක් ඇතුළතදී ලකුණු 56 කට කඩුලු 5 ක් ලෙසින් සටහන් විය. එතැන් සිට ශ්‍රී ලංකා පිලට හිස එසවීම අසීරු වූ නමුත් හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 87 ක විශිෂ්ට සම්බන්ධතාවක් ගොඩනැංවූ කුසල් ජනිත් පෙරේරා (66) සහ වනිඳු හසරංග (44) ශ්‍රී ලංකා පිලේ බලාපොරොත්තු ඉහළ නැංවූහ.

පල්ලෙකැළේ ක්‍රීඩාංගණය පිරී ඉතිරී යන්නට පැමිණ සිටි ක්‍රීඩා ලෝලීන්ගේ ඔල්වරසන් නාදය කෙමෙන් වැඩිවෙමින් යද්දී කුසල් ජනිත් සහ හසරංග දෙදෙනා ඉදිරියටම ගියද 16 වැනි ඕවරයේදී රූපවාහිනී විනිසුරුවරයාගේද මැදිහත් වීමෙන් පසු හසරංගගේ පන්දු 34 ඉනිම නිමා විය. තවත් පන්දු 6 ට පසුව කුසල් මෙන්ඩිස්ගේ කඩුල්ලට කඩා වැදුණු ඔන්ඩි්‍ර රසල්ගේ පන්දුවක් ශ්‍රී ලංකා පිලේ අවසන් බලාපොරාත්තුවත් සුන්කර දැම්මේය.

හයේ පහර 3 කින් සහ හතරේ පහර 6 කින් සිය ඉනිම අලංකාර කළ කුසල් පෙරේරා මුහුණ දුන් පන්දු 38 න් ලකුණු ලබාගත නොහැකි වූයේ පන්දු 9 කින් පමණි. වනිඳු හසරංග මුහුණ දුන් පන්දු 34 න් 4 ක් හතරේ සීමාව පසුකර ගිය අතර ඒ වන විට පැවැති පීඩනය හමුවේ මෙම පිතිකරුවන් දෙදෙනාගේ සටන්කාමී ක්‍රීඩා රටාව නරඹන්නන්ගේ සිත් ඇද බැඳ ගැනීමට සමත්ව තිබිණ.

පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී කාසියේ වාසිය තීරණාත්මක සාධකයකි. මෙම ක්‍රීඩාංගණයේදී මෙතෙක් පැවැති තරග වලදී කාසියේ වාසිය දිනාගත් කණ්ඩායම ජයගත් තරග සංඛ්‍යාව වැඩිය.

පන්දු 14 කදී ලකුණු 35 ක් ලබාගනිමින් ඇදහිය නොහැකි ප්‍රහාරයක යෙදුණු ඔන්ඩ්‍රි රසල් (35) සහ ආරම්භක පිතිකරු ලෙන්ඞ්ල් සිමන්ස් (නොදැවී 67) එක්ව කොදෙව් පිල ලකුණු 196 ක් කරා කැඳවාගෙන ගියහ. රසල් දැවී ගිය පසුව පැමිණි කිරන් පොලාර්ඩ් තමන්ගේ 500 වැනි විස්සයි-20 තරගය සැමරූයේ පන්දු 15 කින් ලබාගත් ලකුණු 34 කිනි. ඒ සමගම සියලුම ආකාරයේ විස්සයි-20 තරග වලදී කිරන් පොලාර්ඩ් ලකුණු 10,000 සීමාව පසුකර ගියේ ඉසුරු උදාන හමුවේ ගැසූ දැවැන්ත හයේ පහරකිනි.

ලසිත් මාලිංග විසින් යවන ලද මුල් ඕවරයේදීත්, පසුව තිසර පෙරේරා යැවූ දෙවැනි ඕවරයේදීත් තරමක් තැන්පත් වූ කොදෙව් පිතිකරුවෝ එතැන් සිට අති භයංකාර ආක්‍රමණයක් ආරම්භ කළහ.

ඉසුරු උදානගේ දෙවැනි ඕවරයෙන් ලකුණු 20 ක් උදුරාගත් ආරම්භක පිතිකරුවන් වූ ලෙන්ඞ්ල් සිමන්ස් සහ බ්‍රෙන්ඩන් කිං 6 වැනි ඕවරය නිමා වන විට ලකුණු 54 ක් පුවරුවට එකතු කළහ. වේග පන්දු යවන්නන් පහර පිට පහර කද්දී පන්දුව අතට ගත් ලක්ෂාන් සඳකැන් සිය පළමු ඕවර තුනම ලකුණු 19 කට සීමා කරගත් නමුත් අවසන් ඕවරයේදී දරුණු ප්‍රහාරයකට ලක්විය.

හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක්ද සමගින්, පන්දු 31 කදී සිය අර්ධ ශතකය සම්පූර්ණ කළ ලෙන්ඩ්ල් සිමන්ස් තමන්ගේ අන්තය ආරක්‍ෂා කරගනිද්දී සෙසු පිතිකරුවෝ ශ්‍රී ලංකා පන්දු යැවීම සෙල්ලමකට බාරගත්හ. ලෙන්ඞ්ල් සිමන්ස් සහ ඔන්ඩ්‍රි රසල් දෙදෙනා අතර තුන්වැනි කඩුල්ල වෙනුවෙන් පැවැති ලකුණු 39 ක සම්බන්ධතාවේදී සිමන්ස් ලබාගත්තේ ලකුණු 2 ක් පමණි. ලකුණු 35 ක් ම රසල්ගේ ඉනිමට හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් විය.

එක්දින තරගාවලියේදී ලද පරාජයේ වාඩුව ගත් කිරන් පොලාර්ඩ් පන්දු 15 කට පමණක් මුහුණ දෙමින් ගැසූ හයේ පහර දෙකත් හතරේ පහර 3 ත් පල්ලෙකැළේ ක්‍රීඩා ලෝලීන්ට කලකට අමතක නොවනු ඇත.

තරගාවලියේ දෙවැනි සහ අවසන් විස්සයි-20 තරගය සිකුරාදා (6 වැනිදා) පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදීම පැවැත්වේ.