කිරුළ ගැලවූ කැරොලයින් ජූරිව වසර 10 සිට 20ක් දක්වා සිරගත කළ හැකියි : නීති විශාරදයින් කියයි

189

ශ්‍රී ලංකා විවාහක රූ රැජණ තේරීමේ තරගාවලියේදී කිරුළ හිමි කරගත් නිරූපණ ශිල්පිනී පුෂ්පිකා ද සිල්වා මහත්මියගෙන් කිරුළ බලහත්කාරයෙන් ඇගෙන් උදුරා ගැනීම සොරාගැනීමක් බවට චෝදනා ඔප්පු වුවහොත් එම ක්‍රියාව සිදුකළ ලෝක විවාහක රූ රැජණ කැරොලයින් ජූරිට එරෙහිව වසර දහයේ සිට වසර විස්ස දක්වා සිර දඬුවම් ලබාදීමට මෙන් ම ඇගෙන් වන්දි අයකර ගැනීමට නියෝගයක් ලබාදීමට අධිකරණයට හැකියාව පවතින බව ජනාධිපති නීතිඥ යූ.ආර්.ද සිල්වා මහතා පැවසීය.

පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ හිස පැළඳී කිරුළ ඇගේ හිසෙන් ගලවා ඉවත් කර එය වෙනත් අයෙකුගේ හිස මත පැළඳවීමට කටයුතු කිරීම ඇයට නොතිබුණු බලයක් පෙන්වා සිදුකළ බලහත්කාරකමක් මෙන් ම සොරාගැනීමක් බවට පෙනෙන්නට තිබෙන බව ද ඒ මහතා පැවසීය.

මෙම ක්‍රියාව සිදුකළ කැරොලයින් ජූරි නමැත්තියට එරෙහිව බලහත්කාරකම් පෑම,බලෙන් ලබාගැනීම,සොරාගැනීම හා තුවාල සිදුකිරීම යන චෝදනා යටතේ නඩු පැවරීමට හැකියාව ඇති බව ද ඒ මහතා පැවසීය.

එපමණක් නොව තම සංවිධානයට කළ අපහාසයට හා සංවිධානයේ කොන්දේසි උල්ලංඝනය කරමින් ක්‍රියා කිරීම සම්බන්ධයෙන් කැරොලයින් ජූරිට එරෙහිව නඩු පැවරීමට එම රූ රැජණ තරගය සංවිධානය කළ සංවිධායක මණ්ඩලයට හැකියාව ඇති බව ද ඒ මහතා පැවසීය.

එම තරගාවලියේදි කැරොලයින් ජූරී නමැත්තිය කළ ක්‍රියාව කිසිසේත් ම අනුමත කළ නොහැකි බව ද පෙන්වාදෙන යූ.ආර්. ද සිල්වා මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වැඩිදුරටත් පවසන්නේ ඇය නීතියට පටහැනිව බලහත්කාරකමක් කර ඇති බවට පෙනෙන්නට තිබෙන බවත් ඇය කළ මෙම නින්දා සහගත ක්‍රියාව නිසා ලෝකය හමුවේ ශ්‍රී ලංකාව අපකීර්තියට පත්වන බවත් ය.