ක්‍රීඩාවෙන් ඈත්ව සිටින බෙන් ස්ටෝක්ස්ට 20/20 ලෝක කුසලානය අහිමි වීමේ වැඩි අවධානමක්.

927

එංගලන්ත සුපිරි ක්‍රීඩක බෙන් ස්ටොක්ස්ට ලබන ඔක්තෝම්බර් මාසයේදී ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය අහිමි වන බව ඩේලි මිරර් පුවත්පත සඳහන් කර සිටියා.

දැනටමත් මේ මාසයේ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී නැවත ආරම්භ වීමට නියමිත අයි.පී.එල් තරගාවලියට තමන් සහභාගි නොවන බව ස්ටොක්ස්ට ප්‍රකාශ කර අවසන්.

ඔහුට සමීප ආරංචි මාර්ග පවසන්නේ ඔහු මේ වන විට ක්‍රිකට් ගැන කිසිසේත්ම සිතන්නේවත් නැති මට්ටමක සිටින බවයි. පසුගිය දිනෙක තරගයක් අතරතුරදී ඔහුගේ ඇඟිල්ල කැඩී යාමත් සමඟ විවේක ගත් ඔහු දැන් සිය මානසික සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීම සඳහා දින නියමයක් නොමැතිව තාවකාලිකව ක්‍රිකට් පිටියෙන් විවේක ගනිමින් සිටියි.

30 හැවිරිදි ඔහු මේ මාසය අවසානයේදී අයි.පී.එල් තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් පිල සමඟ පවුම් මිලියන 1.4 ක කොන්ත්‍රාත්තුව සපුරාලන්නේ නැති අතර එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සහභාගී වේදැයි යන්න තවමත් අවිනිශ්චිතය.

ලබන සිකුරාදා (සැප්තැම්බර් 10) වන විට අයි.සී.සී ය වෙත ලෝක කුසලාන සංචිත ඉදිරිපත් කළ යුතු බැවින් එංගලන්ත තේරීම් කමිටුව මෙම සති අන්තයේ 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් තෝරා ගැනීමට නියමිතයි. ලබන බ්‍රහස්පතින්දා ඉන්දියාව සමඟ මැන්චෙස්ටර් හි පැවැත්වෙන අවසන් ටෙස්ට් තරගය අවසානයේදී ඔවුන් එය නිවේදනය කිරීමට බලාපොරොත්තු වේ.

ලෝක කුසලාන තරඟාවලියේ කණ්ඩායම් අදියර ආරම්භ වීමට දින හතකට පෙර ඔක්තෝබර් 10 දක්වා නම්කළ සංචිතවල වෙනස්කම් නිදහසේ සිදු කළ හැකි හෙයින්,එංගලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන ක්‍රිස් සිල්වර්වුඩ් හට එම කාලය තුළ තාවකාලිකව හෝ බෙන් ස්ටෝක්ස්ව නම් කළ හැකිය.

කෙසේ වෙතත් පවතින වාතාවරණය අනුව ජූලි 30 වෙනිදා බෙන් ස්ටෝක්ස් සිය විවේකය ප්‍රකාශයට පත් කළ විට තම තුන් ඉරියව් ක්‍රීඩකයාට අනවශ්‍ය පීඩනයක් එල්ල කිරීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය කිසිසේත්ම ක්‍රියා කළේ නැත.

කෙසේ නමුත් බෙන් ස්ටෝක්ස් එංගලන්තයයේදී පසුගිය දිනෙක නිමාවට පත් වුණු ‘ද හන්ඩ්‍රඩ්’ ක්‍රිකට් තරගාවලියේ නදර්න් සුපර්චාර්ජ් කණ්ඩායම හා එක්වෙමින් තරඟ 2 කට පමණක් සහභාගි විය.

ස්ටොක්ස් යනු එංගලන්තයේ එක්දින හා විස්සයි විස්ස කණ්ඩායමේ ප්‍රධාන අංගයක් වන අතර 2019 එක්දින ලෝක කුසලානය දිනා ගැනීමට අවසන් තරගයේදී තනිවම සටන් වැදීය.

උපුටා ගැනීම – ඩේලි මිරර් පුවත්පත ඇසුරෙන්