ක්‍රිකට් තේරීම් කමිටුව එළඹෙන සතියේ

210

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව එළඹෙන සතිය ඇතුළත නම් කරන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

අම්බලන්ගොඩ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

දකුණු අප්‍රිකා සහ එංගලන්ත ටෙස්ට් තරගාවලි දෙක ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වීමෙන් පසු එල්ල වූ චෝදනා මත එවක තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා ඉකුත් ජනවාරි 25 වැනිදා එම ධූරයෙන් ඉල්ලා අස්විය.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නව තේරීම් කමිටුවක් සඳහා ඉදිරිපත් කෙරුණු නාමයෝජනා ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා යොමුකෙරුණි.

එහෙත් මේ වන විට සති දෙකකට ආසන්න කාලයක් ගත වී ඇතත් තවමත් නව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පත්කර නොමැත.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය අරමුණු කර ගනිමින් ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය පසුගියදා පැවති අතර ඒ අනුව කොදෙව් සංචාරය සඳහා සූදානම් වීමට ශ්‍රී ලංකා සංචිතය ඉක්මනින් තෝරාගත යුතුවේ.

එම නිසා නව ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුව පත්කිරීම පිළිබඳ ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සභාපති යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගෙන් අප කළ විමසීමකදී ඔහු සඳහන් කළේ යෝජිත නම් පිළිබඳ මේ වනවිටත් සලකා බලමින් සිටින බවය.

ක්‍රිකට් තේරීම් කමිටුවට සාමාජිකයන් පත්කිරීමේදී කැපවීම සහ වගකීම පිළිබඳවත්,දූෂණ චෝදනා එල්ල නොවු පුද්ගලයින් පිළිබඳවත් සොයා බැලීමට සිදුවීම නිසා තේරීම් කමිටුව පත් කිරීම ප්‍රමාද වූ බව ඒ මහතා සඳහන් කළේය.