‘ක්‍රිකට්’කාලෙ ඉවරයි: නීතිපති තීන්දුව දෙයි

908

වත්මන් ක්‍රිකට් කමිටුවේ නිල කාලය 2021 පෙබරවාරි 20 වන දිනෙන් අවසන් වන බැවින් මේ වසරේ මැයි 20 වන දින ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධරයන් තෝරා පත් කර ගන්නා තෙක් නව කළමනාකරණ කමිටුවක් යටතට පත් කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව නිර්දේශ කර තිබේ.

නීතිපතිවරයා පෙන්වා දී ඇත්තේ වත්මන් පාලනයට තවදුරටත් කටයුතු කිරීම සදහා නීතිමය බලයක් නොමැති බවකි.

වසර දෙකක ධූර කාලය අවසන් වී ඇති බැවින්, පෙත්සම්කාර පාර්ශ්වයේ සභාපති නිශාන්ත රණතුංග සහ ලේකම් මේජර් ජෙනරාල් ශිරාන් අබේසේකර මහතා ක්‍රීඩාවේ පරිපාලනය සඳහා භාරකරුවෙකු පත් කරන ලෙස අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබිණ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය අවසන් මැතිවරණය පැවැත්වූයේ 2019 පෙබරවාරි 21 වැනිදාය.

“අවුරුදු 2 නොඉක්මවන කාලයක් සඳහා නිලධරයන් ධුරය හෙබවිය යුතුය” යනුවෙන් සඳහන් කර ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව උපුටා දක්වමින් පෙත්සම්කරුවන් සඳහන් කරන්නේ වත්මන් නිලධරයන් එම ධූරවල කටයුතු කිරීම නීත්‍යානුකූල නොවන බවයි.

මේ කාරණය සලකා බැලීමෙන් පසු,වර්තමාන කමිටුවට පෙබරවාරි 20 වන දින සිය ධුර කාලය අවසන් වී ඇති බැවින් එය දිගටම කරගෙන යාමට නීතිමය පදනමක් නොමැති බව නීතිපති දෙපාර්තමේන්තුව වාර්තා කර තිබේ.

නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව මඟින් වසර දෙකක කාල සීමාවක් පමණක් ලබා දී තිබුණද, ක්‍රීඩා නීතිය සහ පසුව ඇති වන රෙගුලාසි මඟින් සිව් අවුරුදු කාලයක් සඳහා ඉදිරියට යාමට ඉඩ සලසා දී ඇති බවය!

කෙසේවෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ එදිනෙදා කටයුතු සඳහා නව අතුරු කමිටුවක් පත් කිරීම සඳහා දැන් ක්‍රීඩා අමාත්‍යංශය වෙත බලය හිමිව තිබේ.

නීති විශාරදයින් පවසන්නේ 1973 අංක 25 දරණ ක්‍රීඩා නීතියේ 33 වන වගන්තිය යටතේ අමාත්‍යවරයාට “අතුරු” කමිටුවක් පිහිටුවිය හැකි බවකි.