කහතුඩුව ඇඟලුම් කම්හලේ දෙවැනි කොරෝනා ආසාදිතයාත් වාර්තා වෙයි

1024

කහතුඩුව හයිඩ්‍රමනි ඇඟළුම් කර්මාන්ත ශාලාවේ දෙවෙනි කොරෝනා ආසාදීත රෝගියා අද 21 වාර්තා වූ බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසනවා.

ඒ හේතුවෙන් එම සේවකයා පදිංචි තලගල ප්‍රදේශයේ නිවස ඇතුළු නිවාස 05ක් හා වෙළඳසැල් 06ක පිරිස් ස්වයං නිරෝධායනයට ලක්කිරීමට පියවර ගත් බව හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.

ඇඟලූම් ආයතනයේ පළමු ආසාදිත වූ සාත්තු සේවිකාවකට ඉකුත් 17 වැනි දින කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බවට තහවුරු වීමෙන් ඇය සමග ඉකුත් 03 වෙනි දින සිට 15 වෙනි දින දක්වා සමීපව කටයුතු කළ පළමු ආශ්‍රිතයන් වන එම කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් 365 දෙනෙක් පි සි ආර් පරීක්ෂණ වලට භාජනය කිරීමට පාලනාධිකාරිය විසින් කටයුතු කර ඇත.

එහි දී කිසිදු සේවක සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදිත වී නොමැති බවට අනාවරණය විය.

මේ සමග දෙවැනි ආසාදිත සේවකයා සේවය කළ අංශයේ සේවක සේවිකාවන් 52 ඔවුන්ගේ නිවෙස් වල ස්වයං නිරෝධායනය ට යොමු කිරීමට පාලන අධිකාරිය විසින් කටයුතු යොදා තිබිණි.

ඔවුන්ගේ ලිපිනයන් ඔස්සේ ඒ ඒ ප්‍රදේශ හඳුනාගෙන සෞඛ්‍ය අංශ සහ පොලිසිය දැනුවත් කිරීමට පියවර ගන්නා බව කහතුඩුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත වික්‍රමරත්න පැවසීය.

බිමල් ශ්‍යාමන් ජයසිංහ / නයනදුල සෙන්ඩනායක