කවුද මේ හැමෝම කතා කරන චරිත් අසලංක කියන්නේ

523

චරිත් අසලංක පසුගිය පළමු පෙළ තරගවලදී තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දැක්වූ ක්‍රීඩකයන් අතර ඉහළින්ම සිටි ක්‍රීඩකයකි.ඔහු නිමාවූ බංග්ලාදේශ සංචාරයට ඇතුළත් වේ යැයි බොහෝ දෙනා විශ්වාස කළත් ඔහු එම සංචිතයට ඇතුළත් නොවුණි.කෙසේ නමුත් ඔහු දක්වා ඇති දක්ෂතා සලකා බැලීමේදී ඉදිරි එංගලන්ත සංචාරයේදී හෝ ඔහුට අවස්ථාව ලැබිය යුතු බව අපගේ හැඟීමයි.

චරිත් අසලංක පාසල් අවධියේ පටන් අඛණ්ඩව දක්ෂතා දැක්වූ ක්‍රීඩකයෙකි.වයස අවුරුදු 19 පහළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ චරිත් 2016 වසරේ පැවැති වයස අවුරුදු 19 පහළ ලෝක කුසලාන තරගාවලියේදී තම කණ්ඩායම අවසන් පූර්ව තරගය දක්වා මෙහෙයවීමට සමත් විය.එමෙන්ම එම තරගාවලියේ වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයන් හයදෙනා අතරටද චරිත් ඇතුළත් විය.එමෙන්ම වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය 2015 වසරේදී සහ 2016 වසරේදී දිනා ගැනීමට සමත් වූයේද චරිත් අසලංකයි.

අනතුරුව එස්.එස්.සී.ක්‍රීඩා සමාජය සමග එක්වන චරිත් එහිදීද පළමු පෙළ තරගවල නායකත්වයද දරමින් ඉතා ඉහළ දක්ෂතා දැක්වීය.පළමු පෙළ එක්දින ඉනිම් 40කට ක්‍රීඩා කර ඇති චරිත් එහිදී ලකුණු 1,534ක් ලබාගෙන ඇත්තේ පිතිකරණ සාමාන්‍ය 43.8ක් තබා ගනිමින්.එමෙන්ම ඔහු පළමු පෙළ එක්දින තරගවලදී ශතක 05ක් සහ අර්ධ ශතක 07ක් රැස් කරගෙන ඇති අතර,පන්දු යැවූ ඉනිම් 26 තුළදී බිඳ හෙළා ඇති කඩුලු ගණන 27කි.

ශ්‍රී ලංකා නැඟීඑන කණ්ඩායමේ නායකත්වයද ඔහු දරා තිබේ.2017 වසරේ එක් එක් රටවල නැඟී එන කණ්ඩායම් සඳහා පැවැති ආසියානු කුසලාන තරගාවලියේදී තරගාවලියේ වීරයා සම්මානයද චරිත් දිනා ගත්තේය.ශ්‍රී ලංකා A කණ්ඩායමේ උපනායකත්වයද දැරූ චරිත්ව 2018 වසරේදී එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේදී ටෙස්ට් සංචිතයට කැඳ වුවත් ඔහුට එකදු තරගයක් හෝ ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබුණේ නැත.

මෑතකදී නිමාවූ මෙජර් ක්ලබ් සීමිත පන්දුවාර තරගාවලියේ වීරයා බවටද පත්වන චරිත් එම තරගාවලියේදී ඉනිම් 07කදී ලකුණු 361ක් රැස් කරන අතර,එම තරගාවලියේ චරිත්ගේ පිතිකරණ සාමාන්‍ය 72.2කි. මෙහිදී ඔහු නොදැවී ශතක දෙකක් රැස් කරන අතර,ඊට නොදැවී ලකුණු 178ක් ලබාගත් දැවැන්ත ඉනිමක්ද ඇතුළත්ය.

ආරම්භක පිතිකරු සිට නොම්මර 06 පිතිකරු දක්වා ඕනෑම ස්ථානයක ක්‍රීඩා කර ඇති චරිත් ඕනෑම මොහොතක පිටියෙන් ඉවතට පහර එල්ල කර හැකි ක්‍රීඩකයෙකි.ඔහු දක්ෂ නායකයෙකු මෙන්ම පීඩනය සහිත අවස්ථාවලදී එය කළමානාකරණය කර ගනිමින් ක්‍රීඩා කර හැකි දක්ෂ ක්‍රීඩකයෙකි.එමෙන්ම චරිත් පිටදඟ පන්දු වන්නෙක් වන නිසා එය කණ්ඩායමට අමතර වාසියක් මෙන්ම සමබර කණ්ඩායමක් සකසා ගැනීමටද ඉවහල් වේ.

නිමාවූ බංග්ලාදේශ තරගාවලියේදීද අංක 03 සහ අංක 04 පිතිකරුවන් ආසාර්ථක වූ අතර,මැද පෙළ පිතිකරුවන්ටද ලකුණු අතරට පැමිණීමට නොහැකි විය.ඒ නිසා චරිත් වැනි දක්ෂතා අතර සිටින ක්‍රීඩකයෙකුට අවස්ථාව ලබාදීම ඉතා වැදගත්ය.විශේෂයෙන් වත්මන් තේරීම් කමිටුව 2023 ලෝක කුලසලානය ඉලක්ක කර ගනිමින් තරුණ ක්‍රීඩකයන්ට අවස්ථාව ලබාදෙන මොහොතක චරිත් එංගලන්ත තරගාවලියේ එක්දින කණ්ඩායමට ඇතුළත් විය යුතුම ක්‍රීඩකයෙකු බව අපගේ හැඟීමයි.