ඕනෑම මැතිවරණයකට සූදානම් – අදටත් පොහොට්ටුවේ සභාපති

ByPasindu

Dec 5, 2022

පක්ෂ විපක්ෂ සෑම කණ්ඩායමකටම නිදහසේ දේශපාලනය කිරීම සඳහා ඉඩ සලසා දියයුතුයි යන මතයේ සිටි බව පෙන්වාදෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හා හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා මේ වනවිට එවැනි වාතාවරණයක් රටේ පවතින බවද සියලු පාර්ශව සඳහා නිදහසේ දේශපාලනය කිරීම වෙනුවෙන් අවස්ථාව දියයුතු බවද පෙන්වාදෙයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ මුලින්ම දේශපාලනය කරන්න, නිදහසේ අවශ්‍ය කටයුතු කරන්න මේ වනවිට අවස්ථාව සලසා දී තිබෙන බවත් ආර්ථික සහ අනෙකුත් ගැටළු ඉදිරියේ දී විසඳනු ඇතැයි අපේක්ෂා කරන බවත් ය. පක්ෂය බෙදී ගොස් තිබෙන බවට යම් යම් පාර්ශව අතර මතවාද තිබුණ ද කිසිඳු අවස්ථාවක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බෙදී ගොස් නොමැති බවද සුළු පිරිසක් විවිධ මතයන්හි සිටිය ද ප්‍රධාන වශයෙන් පක්ෂය රටේ ජනතාව සමඟ සිටින බවද කීවේය.

අදටත් තම පක්ෂයේ සභාපතිවරයා වශයෙන් සිටිනුයේ මහාචාර්ය ජී.එල් පීරිස් මහතා බව සදහන් කළ ඒ මහතා තම පක්ෂයේ පාඨය “වෙනස්ව සිතන්න – බිය නොවන්න” යැයි පෙන්වාදුන් හිටපු ඇමැතිවරයා ඒ අනුව ඇතැම් පිරිස් වෙනස්ව සිතන්න පුරුදු වී සිටින බවද සදහන් කළේය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරමාදර්ශී නායකයෙක් බව පෙන්වාදුන් ඒ මහතා එම නායකයාගේ මඟ පෙන්වීම අනුව දේශපාලනය කරන බවද කියාසිටියේය.

දේශපාලන පක්ෂයක් වශයෙන් ඕනෑම මැතිවරණයකට සූදානම් බව පෙන්වාදුන් බැසිල් රාජපක්ෂ මහතා මැතිවරණය යනු ජනතාවගේ කැමැත්ත හෝ අකමැත්ත බවද ජනතාවගේ කැමැත්ත දිනා ගැනීම වෙනුවෙන් පක්ෂයක් ලෙස අපි උත්සාහ ගන්නා බවද පෙන්වා දුන්නේය. පසුගිය කාලයේ පැවැති සෑම මැතිවරණයක්ම ජයගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකියාව ලැබුණු බව සදහන් කළ ඒ මහතා ඒ සම්බන්ධයෙන් සමස්ත ජාතියටම තම ප්‍රණාමය සහ ගෞරවය පිරිනමන බවද ප්‍රකාශ කළේය.

තම පක්ෂය පිළිබඳව විශ්වාසය තැබූ ජනතාවගේ බලාපොරොත්තු යම්කිසි ආකාරයකින් ඉටුකිරීමට නොහැකි වූයේ නම් ඒ සම්බන්ධයෙන් කණගාටු වන බව සදහන් කළ බැසිල් රාජපක්ෂ මහතා එම අඩුපාඩු නිවැරැදි කරගෙන ජනතා අපේක්ෂාවන් ඉටුකිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද පැවසීය. තමා රාජ්‍ය පාලනයේ නොමැති වුවද තමා දේශපාලනයේ නිරතවන බව සදහන් කළ හිටපු ඇමැතිවරයා එය 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා තහනම් කර තිබෙන බවද තමාට පාර්ලිමේන්තුවට පැමිණීමේ අවස්ථාවක් නොමැති බවද කීවේය. ඒ සම්බන්ධයෙන් සතුටු වන බවද හෙතෙම කියාසිටියේය.

ලක්ෂ 69 ක ජනතාවගේ ඡන්දයෙන් බලයට පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වූ බව සදහන් කළ ඒ මහතා ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව තුළින් ජනාධිපතිවරයෙකු තෝරා පත්කර ගතයුතුව තිබූ බවද ඒ අනුව ජනාධිපතිවරයා වශයෙව් ඉතාම සුදුසු පුද්ගලයා තෝරා ගැනීමට අවශ්‍ය පියවර ගත් බවද සදහන් කළේය.