ඔක්තෝබර් මැද වන විට කොරෝනා මර්දනය කර ජන ජීවිත නැංවිය හැකියි

211

ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන

කොවිඩ් මර්දන ප්‍රතිශක්තිකරණ එන්නත් වැඩසටහනේ සාර්ථකත්වයේ ප්‍රතිඵල ලෙස ඔක්තෝබර් මස මැද සතිය වන විට දැනට පවතින කොරෝනා වසංගතය අවසන් කර මෙරට ජනතාවට සාමාන්‍ය ජීවිතයක් කරා එළැඹීමට හැකියාව පවතින බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසුවේය.

කොවිඩ් වයිරසයට එරෙහිව ජනතාව තුළ ප්‍රතිශක්තිකරණය ගොඩනැඟීම සඳහා වන එන්නත්කරණ වැඩපිළිවෙළ අතිශය සාර්ථක ලෙස රට පුරා සියලු දිස්ත්‍රික්ක ආවරණය කරමින් ක්‍රියාවට නංවන බවත් මෙරට ජනතාවට අවශ්‍ය තරම් එන්නත් ගෙන්වීම සිදු කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඒ මහතා මේ බව ඊයේ (1) පැවසුවේය.

මෙරට ජනතාවගේ පූර්ණ එන්නත්කරණයට අවශ්‍ය සියලු එන්නත් ඉදිරි සති කිහිපය තුළදී ලබා ගත හැකි බවත් එන්නත් හිඟයක් ඇති වේ යැයි හෝ එන්නත් අවසන් වේ යැයි අනවශ්‍ය බියක් ඇති කර ගනිමින් එන්නත්කරණ මධ්‍යස්ථාන අසලට ගොස් කලබලකාරී තත්ත්වයන් ඇති නොකිරීමට ජනතාව වගබලා ගත යුතු බවත් හෙතෙම පැවසීය.

එන්නත්කරණය සිදු කරන ස්ථානවලට අනවශ්‍ය ලෙස ගොස් කලබලකාරී තත්ත්වයන් ඇති කිරීම වයිරසයේ නැවත ව්‍යාප්තියක් ඇති කිරීමට හේතු වනු ඇතැයි ද, තවදුරටත් මෙරට එන්නත්කරණ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සමස්ත ජනතාවගේම සහාය අපේක්ෂා කරන්නේ යැයි ද ඒ මහතා ප්‍රකාශ කළේය.

තමා තාවකාලිකව හෝ පදිංචිව සිටින ස්ථානවලින් කොවිඩ් මර්දන එන්නත ගැනීමට ජනතාවට හැකියාව පවතින බවත් ඉන් අදහස් කරනුයේ පිට පළාත්වලින් කොළඹට, ගම්පහට, කළුතරට හෝ වෙනත් ස්ථානයකට පැමිණ රැකියාවන්හි නිරත වන්නේ නම් අදාළ ප්‍රදේශයේ තමාට පහසු ස්ථානයකට ගොස් එන්නත ලබා ගැනීමේ හැකියාව ඇති බවත් ඔහු කීය.

නොඑසේ නම් උදාහරණයක් ලෙස කුරුණෑගල ස්ථිර පදිංචිය ඇති කෙනකු කොළඹට පැමිණ රැකියාවක නිරත වන්නේ නම් එම පුද්ගලයා නැවත කුරුණෑගලට ගොස් එන්නත ලබා ගැනීම ප්‍රායෝගික නොවන්නේ යැයි ද ඒ මහතා පැවසුවේය.

තමාට පහසු තැනකින් එන්නත ලබා ගැනීමට හැකිය යන්නෙන් අදහස් කරනුයේ කොළඹ පදිංචි අයකු යාපනයට ගොස් එන්නත ලබා ගැනීම හෝ මහනුවර පදිංචි අයෙකු ගාල්ලට ගොස් එන්නත ලබා ගැනීම හෝ නොවන බවද ඔහු අවධාරණය කළේය.

සන්ධ්‍යා කරුණාරත්න