එයා මගේ ළඟ නැහැනේ කියලා හිතෙනකොට ලොකු දුකක් දැනෙනවා-විජය නන්දසිරිගේ ආදරණීය බිරිඳ

1111

සිනහවෙන් සතුටින් සිටීමෙන් තරුණ බව රැකෙනවා කියලා කියමනක් අහල ඇතිනේ.ඉතින් ඒ කියමන සනාථ කරන්න මෑත යුගයෙන් උදාහරණයක් දෙනවා නම් දෙපාරක් හිතන්නෙ නැතුව විජය නන්දසිරි නම කියන්න පුළුවන්.

එදා නරිබෑනා නාට්‍යයෙත් අද සිකුරු හතේ චිත්‍රපටයෙත් අපි දැක්කේ එකම හැඩහුරුවකින් එන මූණක්.ඒ මූණත් එක්ක ආපු දෙබස්,රඟපෑම් අපේ නෙත් සිත් පිනවපු අපූරුව අද ඔහු අප ලඟ නැතත් ඔබට අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ.ඔහු අප අතරින් සමුගෙන මේ වනවිට අවුරුදු පහකුත් ගෙවී ගොස් අවසන්.කොහොම නමුත් ජීවත් වෙන මැරෙන මිනිස්සු අතරේ සදා මතකයේ රැඳෙන මිනිස්සු ඉන්නේ හරි අඩුවෙන්.ඉතින් මේ නිහතමානී කළා කරුවත් ඒ වගේ කෙනෙක්. චිත්‍රපට වගේම ටෙලිනාට්‍ය තුලිනුත් ඔහු තවමත් මිනිසුන් එක්ක ඉන්නවා. ඉතින් ඒ වගේම ඔහු රංගනයෙන් දායක වුනු චිත්‍රපට දෙකකුත් ඉස්සරහට එන්න තියනවා.

කොහොම නමුත් මේ රටක් ආදරය කරන කළා කරුවාගේ ආදරණීය බිරිඳ වන දේවිකා මිහිරාණි ඔහු ගැන ආදරණීය මතක අපිත් එක්ක කතා බහ කලේ මෙන්න මේ විදිහටයි.මේ අවුරුදු පහ ගත වුන විදිහ කියන්න වචන නැහැ.කොහේ ගියත් අපි හතරදෙනා එකට යන්නේ.දුව විවාහ වෙලා ගියාට පස්සේ වුනත් තාක්ෂනය තියෙන නිසා ඒ පාළුව දැනුනේ නැහැ.ඒත් විජය හදිසියේම අපිව දාලා ගියාට පස්සේ ඒ දැනෙන පාළුව කියලා නිම කරන්න බැහැ.විජය මට හරිම සමීපයි.විජය වේදිකාවේ රඟපාන පැය දෙක විතරයි මගෙන් ඈත් වෙලා හිටියේ.එතනින් මන් තිරය පිටිපස්සේ ඉදන් එයාව බලනවා. මගේ රැකියාවට තිත තිබ්බේ මගේ පවුලේ අය නිසා.

විජය වෙනුවෙන් දරුවන් වෙනුවෙන් මම මුළු ජීවිතයම කැප කළා.මම නැතුව විජය හුස්ම ගන්න ටික විතරයි කලේ.එයා මේසෙ වාඩි වුනාමයි දන්නේ කන්නේ මොනවද කියලා.ගමනක් යන්න අතට ඇදුමක් දුන්නමයි දන්නේ මොනවද අදින්නේ කියලා.මම තනිකරම එයාව ගෙදර වගකීම් වලින් නිදහස් කළා.ඉතාම ආදරයෙන් සහ ලෙන්ගතුව හැම වැඩක්ම කළා.දැන් එයා නැති වුනාම ඒ දැනෙන හුදකලාව මට වචන වලින් විස්තර කරන්න බැහැ.ඉතින් එකට කරන්න දෙයකුත් නැහැ.

ඔහුව අපිට අත්‍යවශ්‍යම තැන් වලදී ඔහු නැති අඩුව සියයට දෙසීයක් තුන්සීයකට එහා දැනෙනවා.හැමෝම ඔහු නැති අඩුව හිත්වල පුරෝගෙන ඒ අවස්ථාවලට මුහුණ දෙනවා.

අපි මොකද කරන්නේ ඉතින්, ආයෙමත් එයා එන්නේ නැහැනේ. විජය ඉන්න තැන, හිටපු විදිහ කොයි වගේද කියලා මම අමුතුවෙන් විස්තර කරන්න ඕනේ නැහැනේ.ඒක විජයව දන්න හැමෝම දන්නවා.නිතරම විහිළු කරගෙන සිනාමුසු මුහුණින් ඔහු ඉන්නේ.ඔහු ඉන්න තැන සතුටින් පිරිලා.විජය කවදාවත් කිසිම ප්‍රශ්නයකට කාගෙවත් හිත රිද්දලා නැහැ.එයා එයාගේ හිත රිද්දගන්නෙත් නැහැ.විජය නිතරම සුබවාදීව හිතන කෙනෙක්.

එයාගේ දකුණු අතින් දෙන දෙය වම් අත දන්නේ නැහැ.මිනිස්සුන්ට නිහඬව උදවු කරනවා.ඔහු උදවු උපකාර කරපු සමහර දේවල් මම දන්නේ ඔහු නැති වුණාට පස්සේ.කලා ක්ෂේත්‍රයේ හිතමිතුරන් සමීපතමයින් මුණගැහුණම නිතරම විජය නැති අඩුව පුරවාගන්න බැරි බව කියනවා.

ඒ වගේම විශේෂයෙන් රසිකයෝ ඔහුව නිතරම සිහිපත් කරනවා.සමහර රංගන ශිල්පීන්ට කැමැති තරුණ අය විතරයි.සමහර රංගන ශිල්පීන්ට කැමැති වැඩිහිටියෝ විතරයි.ඒත් වයස් භේදයකින් තොරව විජය නන්දසිරි කියන නමට තවමත් හැමෝම ආදරය කරනවා.ඔහු රඟපාපු නිර්මාණ ටෙලිවිෂන් එකෙන් නැවත විකාශය වෙද්දි මෙහෙම හිටියාට මගේ ළඟ එයා නැහැනේ කියලා මට හිතෙනවා.එතකොට ලොකු දුකක් දැනෙනවා.ඒත් මගේ දුක මම දරුවන්ට දෙන්නෙ නැහැ.

මම එයාලට ඒ දුක පෙන්වන්නේ නැහැ කියලයි කවුරුත් ආදරය කරන ප්‍රවීණ රංගන ශිල්පී විජය නන්දසිරිගේ ආදරණීය බිරිද අවසාන වශයෙන් පැවසුවේ.