උදාරිට ආදරණීය බිරියක් මෙන්ම පිළිකා රෝගිනියක් වශයෙන් ඉතා දුෂ්කර කලක් ගතකරන්න සිදු වුනාලු?

838

කොලොම්තොට අහස ඉසව්වටයි අපේ මේ ගමන. ඒ තාරකාවක් සොයාගෙනයි. රිදී තිරයෙන් ඈ කලඑළි ගැන්වුණු මුල් කාලයේදීම අද අපේ කතා නායිකාව පිළිබඳ සිනමා විචාරකයන් තැබූ අපේක්ෂා බොහොමයි. ඒ පැතුම් සඵල කරමින් අදටත් සිනමාව සේම පුංචි තිරයත් එක සේ දිනා ගත් බවයි ඇයගේ රංගන දක්ෂතා පිළිබඳ කතාබහේදී ප්‍රේක්ෂකයන්ගෙන් ඇසෙන්නේ.

ඉඳින් අහස ඉසව්වේ ආලින්දය හිණිපෙත්තේ නිස්කලංකව දින ගෙවනා ඇය හමුවන්නට ඒ පියගැටපෙළ පිය මනිනා කාටත් පහන් හැඟීමක් දැනෙනු නොඅනුමානයි.

ඒ තරමටම කොළඹ මහල් නිවාස සංකීර්ණයක් වූවත් අපූරු විචිත්‍රත්වයකින් මේ අවට ගැවසී ගත් සිද්ධියකි. ඒ මැදිනි අප උදාරි වර්ණකුලසූරිය මුණ ගැසෙන්නේ. රිදී තිරයේ පෙම්වතියක ලෙසින් පෑ මඳහසින් යුතුව කවදත් ළෙන්ගතු තෙපුලෙන් උණුසුම්වයි දැන් අපි උදාරි සමඟ එකම ආලින්දයක අසුන් ගන්නේ.

  • “ඉතින් කොහොමද මේ දවස් ගෙවෙන්නේ?

නිමක් නැති ප්‍රේක්ෂක ජනාදරයත් දෝත දරාගෙනයි අප ඒ පැනය සිනමාවේ සිහින කුමරිය විරුදාවලි ලද උදාරිට යොමු කරන්නේ.

ඒ එක අතකින් අපේ කතාබහට හොඳ කොළ එළියකි. තවත් විදියකින් අපේ තාරකාව එයින් හැඟුම්බර වූ සෙයකි. එහෙත් සිතිවිලි අතරින් වහා පියවී ලොවිට පිවිසි උදාරි අකරු අමුණන්නට වූයේ හරිම පරෙස්සමෙනි. ඒ තුළ වූයේ කලාවේ නියුතු කවුරු කවුරුත් මෙකල අත්විඳිනා එකම හැඟීමක දෝංකාරයකි. අපි එදෙසට සවන් යොමු කරමු.

‘හ්ම්…., මං ඒක මේ විදියට විස්තර කරන්න කැමතියි. හුඟක් කාර්යබහුල වගේම භාරධූර කාලයක් තමයි මං පසුගිය කාලයේ ගත කළේ.

එහෙම එකින් එක එකතු වෙච්ච චිත්‍රපට හතක් ඉදිරියේදී තිරගත වෙන් නියමිතයි. ඒ එකිනෙකට වෙනස් නිර්මාණ. රංගනය අතින් මට බොහෙම දේවල් එයින් දැන කියා ගන්න ලැබුණා. අනෙක ඒ ඒ චිත්‍රපට අධ්‍යක්ෂවරු හමුවේ වැඩ කරන්නට ඉඩ ලැබීම. ඒ අත්දැකීම් මට මහමෙරක් තරම්…’ මෑතකදීම ඒ අතරට එකතු වුණේ ජැක්සන් ඇන්තනීගේ ‘දේවී සම්බුලා’

  • අපි මතක් කරමුද ඒ අතරින් තවත් එකක් දෙකක්?

‘එතෙක් මෙතෙක් අත්විඳි වෙනස්ම චරිත ගණනාවක් ඒ තුළ වෙනවා. එකගෙයි සොකරි චිත්‍රපටියේ මං ගැමි කාන්තාවක්. වෙනස්ම මුහුණුවරකින් ඒ චිත්‍රපටයෙන් ප්‍රේක්ෂකයන්ට මාව දැක ගන්න ලැබෙයි…’

අපේ ප්‍රශ්නයෙන් ඒ දර්ශනතල සිසාරා පියඹන්නට වූ උදාරිගේ සිත එසැනින් තවත් වෙනස්ම දිශාවකට හැරුණු සැටියකි.

‘ඒත්, ගමෙන් නගරයේ කර්කෂ වටපිටාවට මං එන්නේ ටී. සිවදාසන්ගේ අලුත්ම චිත්‍රපටයෙන්. ඒ නීතිඥවරියක වගේම රහස් පරික්ෂිකාවක් විදියට. ප්‍රේමවන්තියගේ චරිතයට වඩා වෙනස් ආරකින් උදාරි වර්ණකුලසූරිය දකින්න ආසයි කියලා හුඟක් ප්‍රේක්ෂකයන් කියනවානේ. ඒ අයට මේ වෙනස සතුටක් දනවයි…’ උදාරි වචන පේළි එක හුස්මට තවමත් මේ කියන්නේ ඒ චිත්‍රපටයේ එන උද්වේගකර දෙබස් අපට දනවමින්.

ඔයින් මෙයින් නිම නොවන උදාරි සිනමාවෙන් අප නෙතු නොගැටුණු ඉකුත් කාලයේ රංගනයට එක් කළ තවත් අරුත් බොහොමයි. ආදරණීය බිරියක මෙන්ම පිළිකා රෝගිනියක වශයෙන් ඉතා දුෂ්කර සේම අභියෝගාත්මක රංගනයක නිරත වන්නටත් සිනමාව වෙනුවෙන් උදාරිට වරම් ලැබ ඇති වගයි ඇය රටට කියන්නේ.

චිත්‍රපටවලට උදාරි වඩා ළෙන්ගතු බව ඇත්තයි. ඒත් ප්‍රේක්ෂක ජනාදරය අතින් ඇය අත්විඳින්නේ ඊට වෙනස් අත්දැකීමකි. ඒ සිනමාවට වඩා පුංචි තිරය වෙනුවෙන් ලැබෙන ප්‍රතිචාර නිසයි.

  • නිකටේ අතක් රඳවාගෙන ඒ ආදරණීය පිළිසඳරට මතක අමුණන අපේ කතා නායිකාවට දැන් තවත් යමක් සිහි වුණු වගකි පෙනෙන්නේ. 

මං වැඩිපුර පුංචි තිරයේ දකින්නට නැත්තේ ඇයි කියලයි මෑතකදී රසිකයන්ගෙන් ලැබුණු සමහර ප්‍රතිචාරවලින් කියැවුණේ. සමහරු මං පුංචි තිරයෙන් අයින්වෙලා ද කියලත් අහලා තිබුණා.

ඒත් එහෙම දෙයක් නැහැ කියලයි මට කියන්න තියෙන්නේ. අනික මං එක පිට එක නිර්මාණ බාර ගන්න කෙනෙක් නෙවෙයි. තිරපිටපතක් කියවා බලලා ඒක මට දැනෙනවා නම් විතරයි බාර ගන්නේ. ඒ වගේම අපේ රටට ප්‍රේක්ෂකයන්ට ඒ නිර්මාණය බලපාන විදියත් මං කල්පනා කරනවා. ඉකුත් කාලයේදී මා ටෙලිනාට්‍යවලින් එතරම්ම දකින්නට නොලැබුණේ මට චිත්‍රපටවලට වැඩිපුර ආරාධනා ලැබුණු නිසයි. ඒ මිසෙක ටෙලිනාට්‍ය දෙවැනි තැනට සළකාගෙනයි නෙවෙයි. ඉදිරියට හොඳ නිර්මාණවලට ආරාධනා ලැබුණොතින් මං ඉඩකඩ ලැබෙන විදියට ඊට එක්වෙනවා.

ඒ වනතුරු මෙතෙක් මැවු චරිතවලට ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ජනාදරය මං සිතේ දරාගෙන ජීවත් වෙන්නේ…

  • ඉතින්, උදාරි සොබාදහමට ප්‍රියකරන්නියක්. ඇය ජීවත්වන දෙහිවල ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයේ හිණිපෙත්තෙහි නිතර දූ සිඟිත්තත් දෝත දරාගෙන උදාරි රැඳෙනවා. ඒ අවට හුඟ දෙනෙකුට හුරු පුරුදු දසුනක්.

ඒත් මේ දිනවල ඈ තනිවයි එහි ඉහළම මහලේ සුළං සුව විඳින්නේ. කොතෙකුත් රන්වන් පැහැති සැඳෑවක් ඇය ගෙවා දමන්නේ එහිදීයි. ඒ අපට තවත් හොඳ නිමිත්තකි. ඒ කුතුහලය පිරි සිතින්මයි අපි දැන් උදාරිගේ කැදැල්ලේ වගතුග විමසන්නේ. ඒ පැනය ද උදාරි ළෙන්ගතුකමින් බාර ගත්තේ සිනාමුසු මුහුණිනි.

‘දෝණි තමයි මගේ ජීවිතේ. හස්බන්ඩ් සිංගප්පූරුවේ ඉන්නේ. එයා ඉඩක් ලැබුණු හැම වේලාවකම අපිව බලන්න මෙහෙ එනවා. එහෙමයි කාලයක් ගෙවුණේ. මං මගේ දෝතින්ම දෝණිගේ වැඩ කටයුතු ඉටු කරන්නයි කැපවෙලා හිටියේ.

ඒත් දැන් දූ ටිකක් ලොකුයි. වැඩිදුර ඉගෙන ගන්න සිංගප්පූරුවට යන්නයි දු කැමැති වුණේ. ඉතින් දැන් ඉස්සර වගේ හස්බන්ඩ් නිවාඩු එනතුරු අපි මඟ බලා ඉන්නවා වෙනුවට දැන් පුංචි වෙනසක් වෙලා තියෙන්නේ. ඒ මං නිවාඩුවක් ලැබුණු හැම වෙලාවකදීම ඒ රටට යන එන නිසයි.

අනෙක මං තනිව නෙවෙයි තාත්තා එක්කයි මේ ගෙදර ජීවත් වෙන්නේ. එක අතකට නිර්මාණවලට මගේ මුළු කාලයම වැය කරන්නට ඒ අතින් වැඩි නිදහසක් දැන් ලැබෙනවා. ඒත් තෝරා බේරාගෙන මට යමක් එකතු කරන්න පුළුවන් චරිතමයි මං බාර ගන්නේ.

ඒ නිර්මාණ මුලින් මං විඳිනවා. ඊට රුකුල් දෙන පරිසරයක්මයි මේ පුංචි ගෙදර තියෙන්නෙ. මගේ කාමරයේ ජනෙල් පියන් හැරි තියෙන්නේ මුහුද දිහාවට. දවසෙන් වැඩි කාලයක් ‘රූෆ් ටොප්’ එකේ ගෙවන්නයි මං ගෙදර ඉන්න දවසට කැමති. පුංචි ‘ටෙන්ට්’ එකක් ඇතුළතට වැදිලා කොළඹ පරිසරයේ හුඟදෙනෙක් විඳින්නේ නැති ලස්සනක් මං මේ තට්ටු නිවසේදී ලබනවා.

  • උදාරි එක දිගටම නිවසේ විසිතුරු සමඟ ඒකාත්මික වෙමින් සිටියි. ඒ මගෙන් තරමක් එපිටට ඇය කැඳවන්නයි අපේ මේ වෑයම. උදාරි සංගීතයටයි, ලස්සන තැන්වල ඇවිදින්නත් හුරු වී සිටින තරුණියක් විදියටයි අපි කලෙකට ඉහතදී ඔබ දැන හඳුනා ගත්තේ?

අදටත් ඒ උදාරි එහෙමමයි. මං ආසම රිවස්ටන්වලට. හෝර්ටන් තැන්නටත් කැමතියි. කොච්චර ඇවිද්දත් මට ඒ පළාත් එපා වෙන්නෙ නම් නැහැ. එච්චරටම මං ඒ වටපිටාවට ආදරෙයි. දැන් මට තනියෙන්ම ගිහින් ඇවිදලා එන්න පුළුවන් තරමට ඒ ප්‍රදේශ හුරුයි.

ඉතින් සංගීතයටත් මං අදටත් එදා වගේම ප්‍රිය කරනවා. චිත්‍රපට නැරඹීමට අමතරව මං සංගීතයටත් සවන් දෙන්නට ප්‍රිය කරනවා. ඒත් ඉස්සර තරම් පියානෝ වාදනයට නම් යොමු වෙන්නෙ නැහැ. මට හිතෙන්නේ මගේ හිතේ ඒ ඉඩ රංගනයට වෙන් වෙලා ඒ මිසෙක වෙනත් විශේෂයක් මට නැහැ. අනෙක රූපවාහිනිය නරඹන්නට මං වෙලාවක් වෙන් කරන්නෙ නැහැ. ඒ වගේමයි මං රංගන කාර්යය අපරිමයෙන් ඉටු කරනවා මිසෙක සමහරු කිසිම සංගමයකටවත් කලා එකමුතුවකටවත් මං එකතුවෙලා නැහැ. ඒ මගේ රුචි අරුචිකම්වල හැටි.’’

තවමත් ඒ දිළිසෙන දෑස් අප දෙසට හැරුණු ගමන්මය. සුපුරුදු ළෙන්ගතුකමත්, දයාවත් කවදත් මෙන් ඒ තුළින් පැතිර යයි. ඒ දිස්නය තවත් දෙගුණ කරන්නට ඈත මුහුදේ ගිලී සැඟවෙන ළා රත් ඉර කෙඳිති නිරන්තර උත්සාහයකය. ඒ අතර මැදින්අපේ කතානායිකාවගේ කෙහෙරැලි සොළව සොළවා අවකාශයට දිවෙන මුහුදු සුළඟ මවන්නේ තවත් අපූරු සිත්තමකි.

  • ඒ කෙතෙක් කලක් රංගන දිවියේ නියැලුණද අදටත් එදා මෙන් නිහතමානී මේ තරුගුණැත්තිය පිළිබඳ කලා ක්ෂේත්‍රයේ කියැවෙන යහගුණ නැවත නැවත සිහි ගන්වමිනි.

ඉඳින්, වචනයෙන් මුමුනන්නේ නැත ද සොබාදහම සමඟ උදාරි තවමත් දොඩමලුවකය. ඊට තවත් බාධාවක් නොවිය යුතු වගයි අපේ සිතිවිල්ල. ඉතින් අපි ආපිට උදාරිගේ තට්ටු නිවසින් පහළ බසිමු. ඒ ඇයගේ සිතැගි තවදුරටත් මතකයෙන් හාරා අවුස්සා අලුත් කරගනිමිනි. ඉන් එවන් තවත් එකක් මතකයෙන් මැකී නොයයි. ඒ නව පරපුරේ රංගන ශිල්පීන් අතුරින් වඩාත් සිත් ගත්තේ කවුරුන්දැයි විමසූ විට ඇය දෙවරක් නොසිතාම දුන් පිළිතුරෙනි.

‘‘මං සමනලී ෆොන්සේකාගේ රංගනයට හරිම කැමතියි. ඒ වගේමයි ශ්‍යාම් ප්‍රනාන්දු. ඒ දෙදෙනාම රංගනය අතින් මා වශී කර ගත් අය.’ ….

උපුටාගැනීම – ලංකාදීප විශේශාංග / Naifm

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

30.

31.

32.

33.

34.

35.

36.