ඉන්දියාවේ පවතින දරුණු කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ප්‍රබල ක්‍රීඩකයන් රැසක් IPL තරඟාවලිය හැරයති…

353

මේ වනවිට අසල්වැසි ඉන්දියාවේ කොවිඩ් වසංගත තත්ත්වය උපරිමයට ළඟාවී ඇති අතර ඊයේ දිනයේද 350,000 ක පමණ දෛනික ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා විය. මේ වනවිට අසාදිතයන් මහමඟ මියයන තත්ත්වයක් උද්ගත වී ඇති අතර එරට රෝහල් තුළ දරුණු ඔක්සිජන් හිඟයක්ද හටගෙන ඇත.

ඉන්දියාවේ කොවිඩ් වසංගත තත්ත්වය එසේ පැවතුණද මේ වනවිට අයි.පී.එල්. තරඟාවලියද සංවිධානය කළ ආකාරයෙන්ම කොවිඩ් නීති රීති වලට යටත්ව සාර්ථකව පවත්වාගෙන ආ අතර පසුගිය දින කිහිපයේදී විදෙස් ක්‍රීඩකයන් කිහිප දෙනෙක් මෙන්ම ප්‍රබල ඉන්දීය ක්‍රීඩකයෙක්ද කොවිඩ් වසංගත තත්ත්වය හා තවත් විවිධ හේතුන් ඉදිරිපත් කර තරඟාවලියෙන් ඉවත් වන ආකාරයක් දක්නට ලැබිණි.

කුමාර් සංගක්කාර පුහුණුකරු ධූරය දරණ රාජස්ථාන් රෝයල් කණ්ඩායමේ ලියම් ලිවින්ස්ටන් ප්‍රථමයෙන්ම තරඟාවලියෙන් ඉවත් වූ අතර ඉන්පසු රාජස්ථාන් කණ්ඩායමේම ඇන්ඩෘ ටයි ද තරඟාවලියෙන් ඉවත් වන බව ප්‍රකාශ කළේය.

දිල්ලි කැපිටල්ස් කණ්ඩායම නියෝජනය කරන ප්‍රබල ඉන්දීය ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින්ද අයි.පී.එල්. තරඟාවලින් ඉවත්වන බව ඊයේ දිනයේ ප්‍රකාශ කළේය. රෝයල් චැලේන්ජර්ස් බැන්ගලෝර් කණ්ඩායමේ ඇඩම් සැම්පා සහ කේන් රිචඩ්සන්ද තරඟාවලියෙන් ඉවත් වී නැවතත් ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යන බව අද උදෑසන ප්‍රකාශ කර ඇත.

කෙසේ නමුත් අයි.පී.එල්. තරඟාවලිය නතර කිරීමට හෝ කල් දැමීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති අතර දිගින් දිඟටම මෙසේ ක්‍රීඩකයන් ඉවත් වුවහොත් තරඟාවලිය පැවැත්වීම අසීරු කටයුත්තක් වනු ඇත.