ඉදිකිරීම් සිදුවන ‘නව කැලණි පාලමෙනුත්’ භාණ්ඩ සොරාගත් ඉංජිනේරුවන්

238

පෑලියගොඩ නව කැලණි පාලම ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා ගෙනැවිත් තිබූ රුපියල් දහසය ලක්ෂ පහළොස් දහසක් පමණ වටිනා ජී.අයි.යකඩ බට තොගයක් සොරකම් කර අලෙවි කිරීමට සම්බන්ධ වූ එම වැඩබිමේ,ඉංජිනේරුවන් දෙදෙනකු වැඩබිම් ලොරි රථ රියැදුරකු ඇතුළු එම සොරකම කිරීම සඳහා අතරමැදියකු ලෙස සහභාගි වූ කුලී රථ රියැදුරකු පෑලියගොඩ මූලස්ථාන පොලිසියේ කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කැලණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ඩයස් මහතාට ලැබුණු තොරතුරක් මත ඔහු කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට අවශ්‍ය උපදෙස් ලබාදීමෙන් පසු,එම නිලධාරීන් ඒ ඔස්සේ කරන ලද විමර්ශනයේදී පළමුව මෙම වැඩබිමේ සේවයේ යෙදීසිටි මාර්ග සංවර්ධන අධිකාරියේ ලොරි රථ රියැදුරකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර තිබෙනවා,පසුව ඔහු ලබාදුන් තොරතුරු අනුව මෙම හොරකමට සෘජුවම සම්බන්ධ වූ එම වැඩබිම් ඉංජිනේරුවන් දෙදෙනකු හා එම භාණ්ඩ අලෙවි කිරීමට අතරමැදියකු ලෙස සම්බන්ධ වූ කුලී රථ රියැදුරුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙහිදී කොටහේන පොලිස් වසමට අයත් පැරඩයිස්වත්ත ප්‍රදේශයේ, පැරණි යකඩ භාණ්ඩ මිලදී ගනු ලබන ස්ථානයකට අලෙවි කර තිබියදී,එම යකඩ බට තොගයද සොයා ගැනීමට හැකි වූ බවයි පොලිසිය පවසන්නේ.

අත්අඩංගුවටගත් සැකකරුවන් වයස අවුරුදු 66, 35, 31 හා 50 යන වයස් කාණ්ඩයේ පසුවන දෙණියාය, හික්කඩුව, වැලිගම හා දෙමටගොඩ යන ප්‍රදේශවල ස්ථිර පදිංචිකරුවන් බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරනවා.