ඇෆ්ගන් ක්‍රිකට් කණ්ඩායම ආරක්‍ෂිතයි, ලබන සතියේ ශ්‍රී ලංකාවටත් යනවා

3252

ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම ආරක්‍ෂිතව සිටින බවත්,ඔවුන් ලබන සතියේදී බොහෝදුරට ශ්‍රී ලංකාව බලා පිටත්ව යනු ඇති බවත් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ (ඒ.සී.බී.) ප්‍රධාන විධායක නිලධාරී හමීඩ් ෂින්වාරි පවසයි.ත’ලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ පාලනය සියතට ගැනීමෙන් පසු එරට ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වත්මන් තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීමක් සිදුකරමින් ඊයේ (17දා) ඔහු මේ බව පවසා සිටියේය.

ත’ලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ පාලනය සියතට ගත්තද,එරට ක්‍රිකට් පාලක මණ්ඩලය දන්වා සිටියේ ත’ලේබාන් සංවිධානය කිසිදු අංශයකින් ක්‍රිකට් ක්‍රීඩා කටයුතු සඳහා බාධා කිරීම් සිදුනොකළ බවයි.ඔවුන් ත’ලේබාන් සිය පුහුණුවීම් කටයුතු නිසි ලෙස සිදුකරගෙන යාමට අවශ්‍ය සහය ලබාදෙන බවද පැවසීය.

මෙහිදී ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩල ප්‍රධානියා වැඩිදුරටත් පැවසුවේ,ක්‍රීඩකයන් සහ නිලධාරීන් ආරක්ෂිතව සිටින බවයි.ඔවුන් පාකිස්තානයට එරෙහි තරගාවලිය සඳහා ලබන සතියේ ශ්‍රී ලංකාව බලා පිටත්ව යන බවත්,ඊට පෙර පුහුණු කඳවුරක් පැවැත්වීමටත් සැලසුම් කර තිබෙන බව හෙතෙම පැවසීය.

“අපි ශ්‍රී ලංකාවට ගිහින් පාකිස්තානයට එරෙහි තරගාවලිය ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්නේ.දැන් සමස්ත ඇෆ්ගනිස්ථානයේ තත්ත්වය ඉතා යහපත්.පාලන කටයුතු වෙනස් වීමට දින දෙකක් පමණ ගත වුණා.පසුගිය දිනවල මිනිසුන් බයෙන්,භීතියෙන් සිටියා.නමුත් දැන් අපට සාමාන්‍ය ජන සමාජය සමග අනෙකුත් කටයුතු සිදුකිරීමට හැකිවෙලා තිබෙනවා.බොහෝදුරට හෙට සිට සියලුම කාර්යාල විවෘත වේවි.

ක්‍රිකට් සමග සියල්ල හොඳින්.මීට පෙරත් ඇෆ්ගනිස්ථානයේ ක්‍රිකට් වලට තලේබාන් සංවිධානයෙන් කිසිදු බාධාවක් සිදුවෙලා නැහැ. ඔවුන්ද අපට සහයෝගය ලබා දී ඇති අතර,නියමිත පරිදි අපි අපේ සියලු කටයුතු කරගෙන යමින් සිටින්නේ ෂින්වාරි විදෙස් මාධ්‍ය වෙත පැවසීය.

කෙසේ නමුත් ඇෆ්ගනිස්ථානයේ කැපී පෙනෙන ක්‍රීඩකයන් දෙදෙනා වන රෂීඩ් ඛාන් සහ මොහොමඩ් නබි මේ වන විට ඇෆ්ගනිස්ථානයේ නොමැති අතර,ඉන් රෂීඩ් එංගලන්තයේ පැවැත්වෙන ද හන්ඩ්‍රඩ් තරගාවලියට ක්‍රීඩා කරමින් සිටියි.නමුත් නබි ඩුබායිහි සිටින අතර,ඔහුගේ පවුල කාබුල්හි සිරවී සිටියි.

කෙසේ නමුත් තලේබාන් නව පාලනය ක්‍රිකට් ක්‍රීඩාවට කුමන බලපෑමක් එක්කරනු ඇත්දැයි මෙතෙක් පැහැදිලි නොහැති හෙයින්,ඔවුන් ක්‍රිකට් වලට සහයෝගය දක්වනවාදැයි විදෙස් මාධ්‍ය මෙහිදී ෂින්වාරිගෙන් විමසා සිටියේය.

ඇෆ්ගන් ක්‍රිකට්වල තිබෙන සුන්දරත්වය නම්,ඊට සැමගේ ආදරය ලැබීමයි.එය ඕනෑම පාලනයක් යටතේ වේවා.පසුගිය අවුරුදු 20 සිටම තලේබාන් සංවිධානය ඇතුළු සමාජයේ සෑම අංශයකින්ම අපට සහයෝගය ලැබුණා.ගතවූ වසර 20 තුළ ක්‍රීඩකයන්ට එකදු ජීවිත හානියක් හෝ කිසිදු හානියක් සිදුවෙලා නැහැ.විශේෂයෙන් ක්‍රිකට් වල කිසිදු ගැටලුවක් මම දකින්නෙ නැහැ.

ඇෆ්ගනිස්ථානයේ නව පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ඔස්ට්‍රේලියානු හිටපු වේගපන්දු යවන ක්‍රීඩක ෂෝන් ටෙයිට් පත් කර ඇති අතර,ඔවුන්ගේ පිතිකරණ පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු පිතිකරු හෂාන් තිලකරත්න සමග සාකච්ඡා කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.ඒ අනුව ෂින්වාරි පවසන්නේ,ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු මෙම සියලුදෙනාගේ සහාය තම කණ්ඩායමට ලබාගැනීමට හැකිවනු ඇති බවයි.

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ ඇෆ්ගනිස්ථානය හා පාකිස්තානය අතර එක්දින තරග 03ක් පැවැත්වෙන අතර,එම තරග එළඹෙන සැප්තැම්බර් මස 01,03 හා 05 දිනවල සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දිවා තරග ලෙස පැවැත්වීමට නියමිතව ඇත.