BREAKING NEWS
Search

ආබාධිත-මියගිය රණවිරු පවුල් 30,000කට වැටුප් සහ දීමනා – ආරක්ෂක ලේකම්

117

යුද්ධයේදී මියගිය සහ ආබාධිත රණවිරුවන්,පොලිස් නිලධාරීන්ගේ පවුල් 30,000කට වැටුප් සහ දීමනා දීමට ආණ්ඩුව පියවර ගත් බව ආරක්ෂක ලේකම් ‍ෙජනරාල් කමල් ගුණරත්න මහතා පැවසීය.

මේ යටතේ එම රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ට මහඟු සේවාවක් සැලසිය හැකි බවද ආරක්ෂක ලේකම්වරයා පෙන්වා දුන්නේය.

ආරක්ෂක අමාත්‍යාංශයේ ඊයේ (29) උදෑසන පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වෙමින් අදහස් දැක්වූ ජෙනරාල් කමල් ගුණරත්න මහතා එහිදී මෙසේද කීවේය.

ආබාධිත රණවිරුවන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් මේ සම්බන්ධව දිගින් දිගටම ඉල්ලීම් කළා.ඔවුන්ට මේ අවස්ථාව දීමට අපට හැකිවීම ලොකු සතුටක්.වයස අවු.55 සම්පූර්ණවීමට පෙර හිමිගන්වනු ලබන දීමනාවන් රණවිරුවා හට වයස අවුරුදු 55 සම්පූර්ණ වූ පසුවද අඩුවීමකින් තොරව යැපෙන්නන්ගේ ජීවිතාන්තය දක්වාම නොවෙනස්ව හිමිගැන්වීමට ජනාධිපතිවරයාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ ධනාත්මකව සලකා බැලීම සඳහා නිර්දේශයන් මේ වන විටත් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

මේ සම්බන්ධව ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඉකුත් 28 වැනිදා රැස්වූ අතර,එහිදී ආබාධිත සහ මිය ගිය රණවිරු පවුල්වලට ගෙවන වැටුප් සහ දීමනා පිළිබඳ විශේෂයෙන් සාකච්ඡා කළා.ආබාධිත රණවිරුවන්ට දිවි ඇති තෙක් ගෙවනු ලබන වැටුප් සහ දීමනා ඔවුන් මිය ගිය පසු ඔවුන්ගෙන් යැපෙන්නන්ටත් දිවි ඇති තෙක් ගෙවීම පිණිස අනුමැතිය ගැනීමට සකස් කළ කැබිනට් පත්‍රිකාව මේ වන විටත් ඇමැති මණ්ඩලයට යොමු කර ඇති බව එහිදී ජනාධිපතිවරයා විසින් පවසා සිටියා.

ඒ අනුව මිය ගිය රණවිරුවන්ගෙන් යැපෙන්නන්ටත් එකී වැටුප් සහ දීමනා ජීවිතාන්තය දක්වා ගැනීමටද මින් අවස්ථාව සැලසේ.තවද රණවිරු පවුල්වල ඉල්ලීම ඉටු කරන බව සඳහන් කළ එතුමා ඒ සඳහා උද්ඝෝෂණ කිරීමේ අවශ්‍යතාවක් නැති බවත්,උද්ඝෝෂණ පිටුපස ඇත්තේ වෙනත් අරමුණක් බවත් වැඩි දුරටත් පෙන්වා දෙන ලදි.

සටනේදී මිය ගිය සහ ආබාධිත වූ ත්‍රිවිධ හමුදා,පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන් සහ ඔවුන්ගේ යැපෙන්නන්ගේ සුභ සාධනය සඳහා ඉහළම ප්‍රමුඛතාවක් දෙමින් ජනාධිපතිවරයා ඇතුළු ආරක්ෂක ලේකම් සහ ත්‍රිවිධ හමුදාපතිවරු කටයුතු කරනු ලැබේ.තවද 2021 අප්‍රේල් මස 7වැනිදා ආරක්ෂක අමාත්‍යාංශයේ මහජන දිනයේදී එම රණවිරු බිරියන් හමු වී සාකච්ඡා කරනු ලැබිණි..

භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්