ආණ්ඩුවට එරෙහි බලවේගයකට විපක්ෂය එකතු විය යුතුයි

264

ආණ්ඩුවට එරෙහි බලවේගයක් නිර්මාණය කර ගැනීම සඳහා විපක්ෂ බලවේග සියල්ල එකතු විය යුතු බව හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මන්ත්‍රීවරුන් පිරිසක් සමඟ පැවති සාකච්ඡාවකදී පවසා ඇත.

එක්සත් ජාතික පක්ෂයේ සිට සමඟි ජන බලවේගයට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී පසුගියදා (29) සාකච්ඡා පැවැත්වූ අවස්ථාවේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

ආණ්ඩුවට එරෙහි බලවේගයක් නිර්මාණය කර ගැනීම රනිල් වික්‍රමසිංහ මහතා නැතිව කළ නොහැකි බව පවසා ඇති සමඟි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් එය සාර්ථක කර ගැනීමට සිය උපරිම ශක්තිය යොදවන බව පවසා තිබේ.

මහ මැතිවරණයට පෙර වටු කුරුල්ලගේ කතාවත් මතක් කර තමා මේ ගැන පැවසූවත් වෙන් වූ අය එය විශ්වාස නොකළ බව සිහිපත් කර ඇති නායකයා එකතු වුණොත් දැල උස්සන්න පුළුවන්, බෙදී වෙන් වුණොත් වැද්දාගේ ග්‍රහණයට හසු වෙන බවත් තමා පෙන්වා දුන් බවත් දැන් වැද්දගේ දැලට අහුවී අවසන් බැවින් එකතු විය යුතු බවත් අවධාරණය කළේය.දෙපැත්තෙම තරුණ නායකයෝ ඉස්සරහට දැම්මොත් දැල ඔසවන එක මහ දෙයක් නොවන බව කී එජාප නායකයා මෙහිදී ඔහු සමඟි ජනබලවේගයේ තරුණ නායකයකු ගැනද සිහිපත් කර තිබේ.

සමඟි ජන බලවේගයේ තරුණ නායකයකු රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා කොට මේ හමුව සූදානම් කර තිබූ අතර එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් එහි සභාපති වජිර අබේවර්ධන මහතා අවශ්‍ය පහසුකම් සලසා තිබිණි.