BREAKING NEWS
Search

අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ ගින්නට හේතුව මෙන්න

166

කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ ඇති වූ ගින්න සිගරැට් කොටයක් නිසා පැතිර ගිය බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ගින්න හටගත් ගොඩනැගිල්ලේ නීතිඥවරුන් සිටින ​ඉහළ මහලකින් හෝ සේවකයකු දැමූ සිගරැට් කොටයකින් ගින්න පැතිරුණද යන්න සොයා බැලීම සඳහා සීසීටීවී දර්ශන ඔස්සේද විමර්ශන අරඹා තිබේ.

ඉකුත් 15 වැනිදා සවස ඇති වූ මෙම ගින්න අහඹු ලෙස ඇති වූ ගින්නක් මිස කඩාකප්පල්කාරී ක්‍රියාවක් නොවන බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු ගිනි විශේෂඥවරයාගේ නිරීක්ෂණවලදී ද තහවුරු කර ඇත.

ගිනි නිවන හමුදාව ගින්න පාලනය කළ පසුව ගින්න හටගත් තැන කුණු අතරේ තිබී සිගරැට් කොට හතරක් ස්ථානීය පරීක්ෂණ නිලධාරීන් සොයා ගෙන ඇත.

අධිකරණ සංකීර්ණයේ සේවකයන් මෙම ස්ථානය සිගරැට් බොන තැනක් ලෙස භාවිත කර ඇති බවත් ඉහළ මහල්වල සිටින නිලධාරීන් සිගරැට් බී කොට විසි කරන තැනක් ලෙසද මෙම ස්ථානය භාවිත කර ඇති බවත් හෙළි වී ඇත.

මෙම ස්ථානයේ මෙට්ට ඇතුළු ගිනිගන්නා සුලු භාණ්ඩ රැසක් ද තිබී ඇත.

මේ අනුව ගින්න ඇතිවූයේ ඉහළ මහලකින් පැමිණි සිගරැට් කොටයක්ද නැති නම් සේවකයකු දමා ගිය සිගරැට් කොටයකින්ද යන්න තහවුරු කිරීම සඳහා තිස් දෙනකුගෙන් පමණ මේ වනවිට ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

දැනට ප්‍රකාශ ලබා දුන් තිස් දෙනාම තමන් දුම් පානය නොකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත.

තිස්ස රවින්ද්‍ර පෙරේරා