BREAKING NEWS
Search

අරවින්ද සංගා මහේල මුරලි මහානාමගෙන් යුත් ක්‍රිකට් සංවර්ධ කමිටුවක්

709

ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් නව කමිටුවක් පත් කිරීම සඳහා නම් නිර්දේශ කර ඇති බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ට්විට්ර් සටහනක් තබමින් ප්‍රකාශ කර තිබෙනවා.

ක්‍රීඩකයන්ගේ සහ පුහුණුකරුවන්ගේ ප්‍රගතිය මෙම කමිටුව මගින් අධීක්ෂණය කිරීමට නියමිතයි. 

ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ක්‍රීඩකයන් සහ පුහුණුකරුවන් එකඟ වූ පරිදි අදාළ ඉලක්ක සපුරා ගැනීම සඳහා මෙලෙස කමිටුවක් පත් කිරීමට තීරණය කළ බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් යළි නගාසිටුවීම සඳහා ප්‍රධාන කරුණු 7කින් සමන්විත යෝජනාවලියක් ක්‍රීඩා අමාත්‍යාංශය ඉදිරිපත් කර තිබෙනවා.

ඒ පසුගියදා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් ,ජාතික ක්‍රීඩා සභාවේ සභාපති මහේල ජයවර්ධන සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙකුගේ සහභාගිත්වයෙන් පැවැති සාකච්ඡාවේදී සලකා බැලුණු කරුණුවලට අනුවයි.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුවට ඉදිරිපත් කළ අදාළ කරුණු 7 වන්නේ.

01 – දැනට පවතින ක්‍රිකට් තේරීම් කමිටුව ගැන සලකා බලමින් නව තේරීම් කමිටුවක් පත් කිරීම.

02 – පවතින පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය ගැන සලකා බලා එහි ව්‍යුහය අනුව පළමු කාණ්ඩයේ කණ්ඩායම ගණන අවම වශයෙන් 8 ක් සහ උපරිමය 14කට සීමා කිරීම. පළමු කාණ්ඩ යටතේ දෙවැනි කාණ්ඩයට අයත්  කණ්ඩායම් එක් නොකිරීම.

03 – නව සුපිරි පළාත් තරගාවලියක් සංවිධාන කිරීම.

04 – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සඳහා පත් කළ හැකි නිලධාරීන් හදුනා ගැනීම.

ඒ අනුව කණ්ඩායම් උපදේශක , ක්‍රිකට් අධ්‍යක්ෂ සහ පූර්ණ කාලීන ක්‍රිකට් කළමනාකරු ලෙස තනතුරු නම් කිරීමට යෝජිතයි
05 – ‍ක්‍රීඩකයින්ගේ සහ පුහුණුකරුවන්ගේ ගිවිසුම් සකස් කිරීමේදී දිරිගැන්වීමේ ක්‍රියාපටිපාටිය ගැන සලකා බැලීම.

මෙහිදී ඔවුන්ගේ පෞද්ගලික දක්ෂතා සහ අඛණ්ඩ විනය පවත්වා ගැනීම කෙරෙහි අවධානය යොමු කරනු ඇති.

06 – ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු මගින් ක්‍රීඩකයින්ගේ සහ සහාය කාර්ය මණ්ඩල නිලධාරීන්ගේ ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කිරීමේදී ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතා සහ විනය ගැන වඩාත් සැලකිලිමත් වීම.

07 – ජාතික සහ ජාත්‍යන්තර ක්‍රිකට් ව්‍යුහය සකස් කිරීමේදී නිර්දේශිත ක්‍රිකට් කමිටුවක් නම් කිරීම යන කරුණුයි.

මේ අතර අදාළ නිර්දේශිත කමිටුව සඳහා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙකු නම් කිරීමේ සූදානමක් පවතින බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග මගින් වාර්තා වනවා.

ඒ අතරට අරවින්ද ද සිල්වා ,මහේල ජයවර්ධන ,කුමාර් සංගක්කාර , මුත්තයියා මුරලිදරන් සහ රොෂාන් මහනාමගේ නම් ඇතුළත් වන බවටයි වාර්ථා වන්නේ.