අයියා මියගිය පුවත දැනගත්තේ අන්තර්ජාලයෙන් එකම නැඟණිය කියයි.

ByPasindu

Jan 18, 2023

“හිතුමතේ ජීවිතේ” නමින් ප්‍රසිද්ධව සිටි තම සහෝදරයා පවසා ඇති පරිද්දෙන් ඔහු කිසිම දිනෙක කිසිවකු හෝ ඝා/තනය කළ අයකු නොවන බවත්, ඔහුගේ එකම නැඟණිය කිසියම් පිරිසක් විසින් ඝා/තනය කළ බවට ඔහු මාධ්‍ය හරහා ප්‍රචාරය කළත් ඔහුට සිටින එකම නැඟණිය තමා බවත්, මියගිය බටුගහගේ ‍ දොන් රංජිත් කරුණානන්ද නොහොත් “හිතුමතේ ජීවිතේ” (65) නමැත්තාගේ එකම සහෝදරිය වන බටුගහගේ ‍දොන් චන්ද්‍රානී පෙරේරා (56) පැවැසුවාය.

ඇය මේ බව කියා සිටියේ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බටුග‍ෙදාන් දොන් රංජිත් කරුණානන්ද නොහොත් “හිතුමතේ ජීවිතේ” නමැත්තාගේ මෘත දේහය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමිනි.

මියගිය පුද්ගලයාගේ මෘතදේහය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු පාරින්ද කොටුගොඩ විසින් කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂණ අධිකරණයේදී 16දා පැවැත්විණි.

එහිදී මෘතදේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය කේ.කේ.ටී. කල්හාර ජයවීර විසින් නිකුත් කෙරිණි.

එහිදී තවදුරටත් සාක්ෂි ලබාදෙමින්, දංකොටුව, රන්සියගම පදිංචි බටුගහගේ දොන් චන්ද්‍රානී පෙරේරා මෙසේද කීවාය.

තුඩුවගේ දොන් අමලින් සෝමාවතී සහ බටුගහගේ දොන් මාටින් පෙරේරා යන මගේ මවුපියන්ට පුතුන් තිදෙනකු සහ එකම දියණියයි සිටියේ. පවුලේ එකම දියණිය මමයි. මා ඉපදුනේ වාද්දුව, මොරොන්තුඩුව ප්‍රදේශයේදී. මේ මියගොස් සිටින්නේ මගේ පවුලේ දෙවැනි අයියා. ඔහු අවිවාහකයි.

ඔහු කුඩා කල සිටම හරිම හිතුවක්කාරයි. ගෙදරින් තරහා වෙලා පාසල් යන කාලයේ සිටම නිවෙසින් පිට වෙලයි හිටියේ. ඒත් තාත්තා ගිහින් අවස්ථා කිහිපයකදී නිවෙසට රැගෙන ආවත් ඔහු නිවෙසේ රැඳී සිටියේ නෑ. ඒත් අවස්ථා කිහිපයකදී විටින් විට නිවෙසට පැමිණ අපි සමඟ කතා බස් කොට නැවත පිටව ගියා. ඒ කොහොම වුණත් ඔහු කුඩා කාලයේ සිටම හරිම හිතුවක්කාරයි.

මේ අතරතුරදී තමයි හිතුමතේ ජීවිතේ නමින් මාධ්‍ය හරහා ප්‍රසිද්ධව ආන්‍ෙදා්ලනාත්මක ප්‍රකාශ කිහිපයක් කියලා තිබුණේ. එහිදී ඔහු පවසා තිබුණේ කළුතර ප්‍රදේශයේ පැවැති බක්මහ උළෙලකදී අවුරුදු කුමාරිය ලෙස කිරුළුපලන් තම එකම නැඟණිය පොලිස් නිලධාරියකු විසින් පැහැරගෙන ගොස් දූෂණය කොට මරා දැමූ බවත් පසුව ඊට සම්බන්ධ පොලිස් නිලධාරියා ඇතුළු පිරිසක් මොහු විසින් ඝා/තනය කොට සිරගතව සිටි බවයි.

එහෙත් ඔහු පවසන පරිදි මිනීමැරුම් කිසිවක් අපි දන්නා තරමින් කරලා නැහැ. හැබැයි සොරකම් කිහිපයක් සම්බන්ධයෙන් නම් ඔහු සිරගතව සිටි බව අපිට දැනගන්න ලැබුණා.

ඒ කොහොම වුණත් ඔහුගේ එකම නැඟණිය ඝාතනය කළ බව පැවැසුවද එවැන්නක් සිදුවී නැහැ. ඔහුට සිටි එකම නැඟණිය මමයි.

ඔහු පසුගිය කාලයේ බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිව සිටියදී ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා. මේ බව දැනගත් මගේ අයියා කෙනෙක් තමයි මට කෝල් කරලා කිව්වේ දෙවැනි අයියා මිය ගිහින් කියලා. ඒ අනුව කළුබෝවිල රෝහලට පැමිණ අයියාගේ දේහය හදුනා ගත්තා. මරණය පිළිබඳ කිසිදු සැකයක් නෑ. දේහය අපි බාරගන්නවා” යැයි සාක්‍ෂිකාරිය කීවාය.

එහිදී මියගිය පුද්ගලයාගේ බාල සහෝදරයා වන වාද්දුව, දෙල්දූව, කෝපියාවත්තේ පදිංචි බටුගහගේ දොන් ආනන්ද පෙරේරා (64) සාක්ෂි දෙමින් මෙසේ කීය.

“මට සහෝදරයන් දෙදෙනකු සහ බාල සහෝදරියක් ඉන්නවා. මේ මියගොස් සිටින්නේ පවුලේ දෙවැනි සහෝදරයා. ඔහු විවාහ වෙලා නෑ.

කුඩා කල සිටම පවුලෙන් අෑත් වෙලයි ඔහු ජීවත් වුණේ. හරිම හිතුවක්කාරයි පොඩි කාලේ ඉඳලම.

දැනට වසර පනහක පමණ සිට හිතුමතේ ජීවිතේ කියලා පපුවේ නමක් කොටා ගෙන තමයි ඔය මාධ්‍ය හරහා විවිධ දේවල් කියමින් ඔහු ප්‍රසිද්ධ වුණේ.

එහිදී තමයි නංගි දූෂණය කරපු පිරිසක් මරා දැමූ බවට ඔහු කියලා තිබුණේ. එත් අපි දන්නා තරමින් නම් ඔහු කවදාවත් ඒ වගේ මනුෂ්‍ය ඝා/තන කරලා නෑ. ඔහුගේ එකම නංගී මරා දැමූ බව කිව්වත් ඇය තවමත් ජීවතුන් අතර ඉන්නවා.

මේ අතරෙදි තමයි මගේ බිරිය දැකලා තිබුණේ අයියා කළුබෝවිල රෝහලේදී මිය ගිය පුවතක් අන්තර්ජාලයේ තියෙනවා. ඊට පස්සේ තමයි අපි රෝහලට ගියේ. එහිදී අපි අයියාගේ දේහය හදුනා ගත්තා. මරණය පිළිබඳ කිසිදු සැකයක් නැහැ. මළ සිරුරේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට අපේ අකැමැත්තක් නෑ. මෘතදේහය අපි භාර ගන්නවා” යැයි පැවැසීය.

ඒ අනුව ඉදිරිපත් වූ සාක්ෂි සහ පශ්චාත් මරණ පරීක්ෂණ වෛද්‍ය වාර්තාවට අනුව මෙම පුද්ගලයාගේ මරණයට හේතුව පෙණහලුවල ඇති වූ නිව්මෝනියා රෝගී තත්ත්වය උත්සන්න වී බවට කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක පාරින්ද කොටුගොඩ තීරණය කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් බොරලැස්ගමුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමේධ විමල ගුණරත්නගේ උපදෙස් මත පො.කො මාලන් (92525) නිලධාරීහු පරීක්ෂණ මෙහෙය වූහ.

පන්නිපිටිය – හෂාන් පුෂ්පික