අමිහිරි මතකයට වසර 13යි..!

223

බටහිර ඉන්දිය කොදෙව් දූපත් හි පැවති 2007 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසානය සනිටුහන් වූයේ මීට හරියටම වසර 13 කට පෙරාතුවයි. තරගාවලියේ මහා තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව සමත් වූ අතර තරගය බාබඩෝස් හි බ්‍රිඩ්ජ්ටවුන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වුනි.

1996 ලෝක කුසලානයෙන් පසුව පළමු වරට ලෝක කුසලාන අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබීම හා 96 ලෝක කුසලානයේදී මෙන්ම මෙහිදීත් ඕස්ට්‍රේලියානුවන්වම අවසන් මහා තරගයේ හමුවීම නිසාත් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය නැවත වරක් රන් අකුරින් ලියැවෙනු ඇතැයි ශ්‍රීලාංකික ක්‍රීඩාලෝලීන් එදින මහත් බලාපොරොත්තු දල්වා සිටියේය.

කෙසේ නමුත් වර්ෂාව නිසාවෙන් මෙම තරගය නියමිත වේලාවට ඇරඹීමට නොහැකි විය. එම නිසා තරගය පන්දුවාර 38කට පමණක් සීමාවූ අතර තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානුවන් කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 281 ක් රැස් කරනු ලැබීය.

මෙහි දී ඕස්ට්‍රේලියානු ඉනිම ආරම්භයේ පටන් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දිගට හරහට බැට දුන් ඇඩම් ගිල්ක්‍රිස්ට් පන්දු 104 කදී හතරේ පහර 13 ක් හා හයේ පහර 8 ක් සමඟින් ලකුණු 149 ක් රැස් කරනු ලැබීය.

එහි දී කිසිදු ශ්‍රී ලංකා පන්දු යවන්නෙකුව තුට්ටුවකටවත් මායිම් නොකළ ගිල්ක්‍රිස්ට් බ්‍රිඩ්ජ්ටවුන් පිටිය තම අණසකට යටත් කර ගත්තේ සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු සුනුවිසුනු කර දමමිනි.

එම ඉනිමත් සමඟින් කාගේත් මතභේදයට තුඩු දුන් කාරණය බවට පත්වූයේ ගිල්ක්‍රිස්ට් තම පිත්ත හොඳින් ග්‍රහණය කර ගැනීම සඳහා අත්වැස්ම තුළ ස්කොෂ් පන්දුවක් දමා ගෙන ක්‍රීඩා කිරීමයි.

අනතුරුව ලකුණු 282ක ඉලක්කයක් හඹා යාම සඳහා යළි පිටියට පිවිසි ශ්‍රී ලංකාවේ පළමු කඩුල්ල වශයෙන් උපුල් තරංග ආ විගසින් ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට නේතන් බ්‍රැකන් සමත් වූයේ ඕස්ට්‍රේලියාවට සාර්ථක ආරම්භයක් ලබා දෙමිනි.

කෙසේ නමුත් ඉන් අනතුරුව පිටියේ එක්වූ සනත් ජයසූරිය සහ කුමාර් සංගක්කාර දෙදෙනා ගොඩනැගූ ලකුණු 116 ක විශිෂ්ට සබඳතාවයත් සමඟින් යළිත් වරක් ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු ඉහළ නැංවිය. ඔවුන් දෙදෙනා එක්ව පිටිය සිසාරා පහරවල් පිට පහරවල් එල්ල කළේ දෙපිලටම තරගය විවෘත කරමිනි.

නමුත් ශ්‍රී ලංකා ඉනිම අතරතුර යළිත් වරක් පිටියට වර්ෂාව කඩා හැලුණේ සනත්-සංගා සුසංයෝගයෙන් බැටකමින් සිටි ඕස්ට්‍රේලියානුවන් හට වැහි දෙවියන් හිමිකරදුන් වෙස්වලා ගත් ආශීර්වාදයක් ලෙසිනි.

වර්ෂාවත් සමඟින් තණතිල්ලේ ස්වභාවය මුළුමනින්ම වෙනස් වූ අතර එහි පළමු ප්‍රතිඵලය වශයෙන් ලකුණු 54 ක් ලබා සිටි සංගක්කාර බ්‍රැඩ් හොග්ගේ පන්දුවක් හමුවේ දැවීගියේය.

වැඩි වේලාවක් යාමට මත්තෙන් අනෙක් අන්තයේ පිටිය දෙවනත් කරමින් සිටි සනත් ජයසූරිය ද දැවී ගියේ මයිකල් ක්ලාක්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ දැවටීමෙනි. එම පන්දුව ඉතා පහතින් කඩුල්ල වෙත ඇදී ගිය ආකාරයෙන්ම තණතිල්ලේ වෙනස් වීම මනාව පැහැදිලි විය.

ඒ සමඟම ශ්‍රී ලංකාවේ අනෙක් කඩුලුත් එක පිට දැවී ගියේ ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ගේ දෑස් කඳුලින් තෙත් කරමිනි. මේ අනුව ශ්‍රී ලංකාවට සංශෝධිත පන්දුවාර 36 තුළ ලබා ගත හැකි වූයේ කඩුලු 8 ක් දැවී ලකුණු 215 ක් පමණි.

මෙහි දී බොහෝ දෙනාගේ මතභේදයට තුඩු දුන් තවත් කාරණයක් බවට පත්වූයේ තරගයට අතිරේක දිනයක් වෙන්කර තිබියදීත් තරගයේ අවසාන පන්දුවාර කිහිපය අඳුරේ ක්‍රීඩා කිරීමට විනිසුරුවන් තීරණය කිරීමයි.

මේ අනුව එම තරගයෙන් ශ්‍රී ලංකාව පරාජය කරමින් ලකුණු 53 ක ජයග්‍රහණයක් ඩක්වර්ත්-ලුවිස් න්‍යායට අනුව හිමිකර ගැනීමට රිකී පොන්ටිං ප්‍රමුඛ ඕස්ට්‍රේලියානුවන් සමත් වූයේ තම සිව්වැනි ලෝක ශූරතාවයට උරුමකම් කියමිනි.

එමෙන්ම ඔවුන් පිට පිට එක්දින ලෝක කුසලාන ත්‍රිත්වයක් ලබා ගත් පළමු රට බවට ද ඒ සමඟින් පත්වූයේ 1999 හා 2003ලෝක කුසලාන වල හිමිකාරීත්වයද සමඟිනි.

අවසන් තරගයේ වීරයා සම්මානය දිනා ගැනීමට ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ලකුණු 149 ක් ලබා ගත් ඇඩම් ගිල්ක්‍රිස්ට් සමත් විය. මෙම තරගයේ අවසානයත් සමඟින් ඕස්ට්‍රේලියානු සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ග්ලෙන් මැක්ග්‍රාත් සහ ශ්‍රී ලංකාවේ රසල් ආනල්ඩ් දෙදෙනා ද තම ජාත්‍යන්තර ක්‍රිකට් සමුදෙනු ලැබීය.