අමනුෂ්‍ය දෝෂයක් ඉවත් කරන්නැයි දැරියකට වේවැලකින් පහරදීමක් -දැරිය මියයයි

393

අමනුෂ්‍ය දෝෂයක් ඉවත් කිරීම සඳහා වේවැලකින් පහර දීම හේතුවෙන් මීගහවත්ත කඳුබොඩ ප්‍රදේශයේ දැරියක් මියගොස් තිබේ.

නව හැවිරිදි දැරියක් මෙලෙස මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

එම දැරියට අමනුෂ්‍ය දෝෂයක් ඇති බව පවසමින් ඇගේ මව විසින් දේවාලයක් පවත්වාගෙන යනු ලබන කාන්තාවක් වෙත ගොස් ඒ සඳහා ප්‍රතිකාර කර තිබේ.

එහිදී අදාළ කාන්තාව දැරියගේ සිරුරේ තෙල් ආලේප කර වේවැලකින් පහර දී ඇති අතර දැරිය සිහිසුන්වීම හේතුවෙන් බියගම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවපොලීසිය සඳහන් කළේය.

එම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර මීගහවත්ත පොලීසිය ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා,

“9 හැවිරිදි දැරියක් යම් අමනුෂ්‍ය රෝගයකින් පෙළෙන බව ඇයගේ මව විසින් දැනගැනීමෙන් පසුව එයට ප්‍රතිකාර ලබාදීම සඳහා,තම නිවසට ආසන්න නිවසක එවැනි දේ සඳහා ප්‍රතිකාර කරන නිවසක් වෙත රැගෙන ගොස් තිබෙනවා.ඒ අවස්ථාවේ දී අදාළ නිවසේ සිටි කාන්තාවක් එම දැරියට යම් ආකාරයක තෙල් සාත්තුවක් කර අමනුෂ්‍ය රෝගය නැති වීමට වේවැලකින් පහර දී තිබෙනවා.පසුව දැරිය සිහිසුන්ව බියගම රෝහල වෙත ඇතුළත් කිරීමේ දී වෛද්‍යවරුන් පවසා ඇත්තේ දැරිය මියගොස් ඇති බවයි.“