අප ක්‍රීඩා කරන්නේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්ගේ සැලසුම් අනුවයි – තේරීම් කමිටු සභාපති

3036

2023 ලෝක කුසලාන තරගාවලිය සදහා කණ්ඩායම ගොඩනැගීම හා තරගාවලියට සෘජුව සුදුසුකම් ලැබීම සදහා වන මිකී ආතර්ගේ සැලසුම් අනුව ක්‍රියාත්මක වන බවට තේරීම් කමිටු ප්‍රධානී ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කොට ඇත.

” ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්හට සැලසුමක් තියෙනවා. අපි කටයුතු කරන්නේ එම සැලැසුමට අනුව. එම සැලසුම වනුයේ එක්දින ලෝක කුසලාන තරගාවලිය සදහා අවශ්‍ය කණ්ඩායම ගොඩනැගීම හා තරගාවලියට සෘජුවම සුදුසුකම් ලැබීමයි. ලෝක කුසලාන සුපර් ලීග් තරග වටයේ තවත් තරග 18ක් අපට තියෙනවා. සෘජුවම සුදුසුකම් ලැබීමට අපි ජයග්‍රහණය කක යුතු වන්නේ තරග 11ක් පමණයි. සමහර තරග ක්‍රීඩා කරන්නෙ ලංකාවෙ. කෙසේ හෝ එම ඉලක්කය සපුරා ගැනීමට අපි උත්සහ කරනවා.”

ලෝක කුසලාන තරගාවලියට සෘජුවම සුදුසුකම් ලැබීමට සුපර් ලීග් තරග වටයේ ප්‍රසාද ලකුණු සටහනේ මුල් ස්ථාන අට තුළට පැමිණීමට සිදුවනු ඇත. ජේෂ්ඨ ක්‍රීඩකයන් කණ්ඩායමට එක් කොට නොගැනීම සම්බන්ධයෙන්ද ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා අදහස් දක්වා ඇත.

” අපි බලන්න ඕනේ දැන් සිටින තත්වය තෙක් පහළ වැටුනෙ කොහොමද කියලා. අපට පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියටත් සුදුසුකම් ලැබීමට සිදුවෙලා තියෙනවා. අපි මෙම තත්වයට පත් වුණේ ජේෂ්ඨයන් සමග ක්‍රීඩා කරද්දිත්. එම කාලයේදී අප තරුණ ක්‍රීඩකයන්ට අවස්ථාව ලබාදුන්නෑ. 2023 වසර වන විට ඇන්ජිලෝ ක්‍රීඩා කරයිද කියන්න අපි දන්නෑ. ඔහු ආබාධයකට ලක්වෙලා විශ්‍රාම ගන්න තීරණය කළොත් ඔහු වෙනුවට ආදේශකයක් අපි සතුව නැති වේවි. එයින් අදහස් කරන්නෙ අපි ඔහු දෙසම බලා නොසිට තවත් ක්‍රීඩකයෙකු ඒ වෙනුවට සූදානම් කළ යුතු බවයි.”

බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි එක්දින තරගාවලිය තරග 2-1ක් ලෙසින් පරාජයට පත්වන්නට ශ්‍රී කණ්ඩායමට සිදුවිය. තරගාවලිය සම්බන්ධයෙන්ද තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පහත අදහස් දක්වා ඇත

 වර්තමාන එක්දින කණ්ඩායමට අත්දැකීම් තියෙනවා. බංග්ලාදේශ තරගාවලියට ක්‍රීඩා කලේ නවකයන් දෙදෙනයි. ඒ පැතුම් නිශ්ශංක හා අශේන් බණ්ඩාර. අනික් ක්‍රීඩකයන් 2015 වසරේ පමණ සිට ක්‍රිකට් ක්‍රීඩා කරල තියෙනවා. අත්දැකීම් සහිත ක්‍රීඩකයන් මේ වන විට වගකීමෙන් යුතුව ක්‍රීඩා කරන්න පටන් අරං තියෙනවා. තවත් වසර තුනකින් මේ සදහා අවශ්‍ය තවත් බොහෝ අත්දැකීම් ලැබෙයි.”

” බංග්ලාදේශ තරගාවලිය දෙස බැලුවොත් පළමු තරග දෙකේ කාසිය වාසිය අපට හිමිවුණා නම් තරගාවලිය ජයග්‍රහණය කිරීමට තිබුණා. අත්දැකීම් සහිත ක්‍රීඩකයන් සිටියදීත් ඔවුනට අවසන් එක්දින තරගයේ ලකුණු 200ක් රැස්කිරීමට නොහැකිවුණා. අපි ධනාත්මකව සිතන්න ඕනෙ. එම තරගයට පෙර ඔවුන් සමග කතා කළ විට ඔවුන් පැවසුවේ කාසිය වාසිය ජයග්‍රහණය කළහොත් තරගය ජයග්‍රහණය කළහැකි බවයි. ක්‍රීඩකයන් තමාගෙන් ඉටුවිය යුතු වගකීම් තේරුම් අරන් තියෙනවා. ඉදිරි කාලයේදී අපට සීමිත පන්දුවාර තරග සදහා විශිෂ්ට කණ්ඩායමක් සිටීවි කියල මට විශ්වාසයි.”