අපි නම් රැළි නතර කරන්නෙ නෑ

306

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රචාරක රැලි නතර නොකරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරි දින තුනේ ප්‍රචාරක රැලි නතර කර ඇත්තේ ජනාධිපති සහ අගමැති සහභාගි වන රැස්වීම් පමණක් බව කී හෙතෙම ඒ කොරෝනා වැලඳෙනු ඇතැයි යන බියට විය හැකි යැයිද කීය.

‘‘කොහොමත් ඔය දවස්වල තැපැල් ඡන්දය පවත්වනවා. රැස්වීම් නතර කළේ ඒ නිසා වෙන්න ඇති. ඒත් අපි නවත්වන්නේ නෑ. කරගෙන යනවා’’ යැයිද විජිත හේරත් පැවසුවේය.

මේ අතර සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කළේ මැතිවරණ රැස්වීම් නතර කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නැති බවය.