අපයෝජනයට හිංසනයට පත්වන සියලුම දරුවන් වෙනුවෙන් මම පෙනී සිටිනවා

11851

පසුගියදා පිළිස්සුම් සහිතව මියගිය ප්‍රකට දේශපාලඥයෙකුගේ නිවසේ මෙහෙකාර සේවයේ යුක්ත්ව සිටි දරුවා කාලයක් පුරාවට අපයෝජනයට ලක් කිරීමත් සමඟ ඒ පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වුණත් තවමත් මේ පිළිබඳව නිශ්චිත ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ.මේ පිළිබඳව සිය අදහස් දක්වමින් හේමාල් රණසිංහ සිය ෆේස්බුක් ගිණුමේ මෙලෙස සටහන් කර තිබෙනවා.

උපුටාගැනීම

“පිළිස්සුම් තුවාල සහිතව මියගිය දරුවාව කාලයක් තිස්සේ අපයෝජනයට ලක්කර තිබීමත්, නිවෙස්හිමි දේශපාලකයාගේ හදිසි ලෙඩවීමත් අතර දරුවාගේ මරණයට ඍජු හෝ වක්‍රාකාර හේතුවක් තිබිය හැකිබව මාගේ පුද්ගලික මතයවන අතර බාලවයස්කාර දරුවෙකු මෙහෙකාර සේවයේ යොදවාලීම සම්බන්දයෙන් පවතින නීතියට අනූව ඔහු ඍජු වරදකාරයෙක්විය යුතුමයි.

කෙසේ වෙතත් දරුවාගේ මරණය දේශපාලනික වන්නේ ඇය අදාල දේශපාලකයාගේ ගෙදර සේවය කලනිසාම නොවෙයි.ඒක රටේ ස්වභාවය නිසයි.රටේ ඕනෑම ප්‍රශ්නයක් තමන්ගේ කදවුරේ වාසිය වෙනුවෙන් ඈදාගෙන කිඹුල් කදුළුහෙලන දේශපාලනිකව අනාථවුවන්ගේ ස්වභාවය නිසයි.මා එසේ සිතන්නේ, මෑත ඉතිහාසය පුරාවටම මෙවැනි සිදුවීම් ඉලක්ක කරගනිමින් ගිරිය පුප්පා කෑගැසු කිසිම බලවේගයකට ඒ සිද්ධිවලට කිසිම ආකාරයේ යුක්තියක් ලබා දීමට නොහැකි වු නිසයි.තවද මේ කෑගැසීම්, ආවේගයන් මේ සිද්ධිවල උණුසුම තිබෙනතුරාවට පමණක් සීමාවන නිසයි.තවත් එක් පාර්ලිමේන්තු සැසිවාරයක අතුරු මාතෘකාවක්ම පමණක් නිසයි.

උණුසුම මෙසේ පවතිද්දී, පශ්චාත් පරීක්ෂණ වාර්ථා නිගමනයන්ටත් කලින් ඇතැම් දේශපාලකයින් මේ සිදුවීම සියදිවිනසා ගැනීමක්,අත්වැරදීමක් හෝ වෙනත් පාර්ශවයක බලපෑමක් බවට ඒත්තුගන්වන්න උත්සාහ දරමින් මාධ්‍ය සාකච්චා පැවැත්වීම හිරිකිතයි.එය මේ දරුවාගේ මරණයටත් සාදාරණයක් ඉටු නොවන බවට පෙරනිමිත්තක් විය හැකියි.

මෑත ඉතිහාසයේ දරුවන් අපයෝජනයට ලක්වීම් සුලභවීමට හේතුවත් සෙවිය යුතුමයි.රජය මෙහිදී තමන්ගේ මතය ජනතාවට කිවයුතු අතරම සාධාරණය ඉටුකල යුතුයි.නමුත් එයත් තවත් එක් ඉටු නොවන බලාපොරොත්තුවක්ද විය හැකියි.

මේ මොහොතේ රටේ සිවිල් බලය හසුරුවන්නා තමන් බවටත්,තමන් අංක එකේ ප්‍රවෘත්ති සපයන්නා බවටත් තමන් විසින්ම ලේබලය අලවාගැනීමට පොරකන සියළුම මුද්‍රිත හා රූපණ මාධ්‍යය ආයතන වලටද රටේ ප්‍රශ්ණ සම්බන්ධයෙන් මීට වඩා සියදහස් ගුණයක් වෘතීමය හා සදාචාරාත්මක වගකීමක් ඇති බවද පුද්ගලිකව විෂ්වාස කරමි.

ගෝලීය වසංගත තත්වය අපේ රටේ උත්සන්ව පවතින මොහොතක යුක්තිය වෙනුවෙන්වත් ජනරාශීවීම්,පෙළගැස්වීම් “මේ මොහොතේදී පමණක්” මා පුද්ගලිකව අනුමත නොකරන අතර,යුක්තිය වෙනුවෙන් කරන බලපෑමේ ස්වභාවය මේ මොහොතට අනුකූලව වෙනත් හැඩයක් ගතයුතු බවටත් පුද්ගලිකව මා විශ්වාස කරමි.

කෙසේවෙතත් මියගිය දරුවාටත්,මේ මොහොතේ අපයෝජනයන්ට හිංසනයට ලක්වන සියළුම දරුවන්ගේ යුක්තිය වෙනුවන් අවංකව පෙනීසිටින බලවේගයන්ට මාගේ සහය ලබාදෙමි.”