“අන්තිම මොහොත වන විට පුතාගෙන් වචන පිට වුණේ නැහැ”–කොවිඩ් නිසා මිය ගිය ඉසිපතන සිසුවාගේ පියා කියූ දේ

760

මගේ රත්තරන් පුතා මිය ගිය දවසේ උදෙත් මගේ අතින්ම කවුපි ඇට දහයක් පහළොවක් කෑවා. ඒත් එදාම ? අපි කවුරුවත් හීනෙකින්වත් නොහිතපු විදිහට හැමෝම අතහැරලා සදහටම පුතා දෙනෙත් පියා ගත්තා.මේක නං අපිට අදහන්නත් බෑ’යැයි කොළඹ ඉසිපතන විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටිය දී,කොරෝනා ආසාදනය වී මියගිය පාසල් සිසුවාගේ පියාවන ප්‍රියදර්ශන ඉඹුල්ගල මහතා දිනපතා පළවන පුවත්පතකට සඳහන් කර තිබෙනවා.

මෙලෙස කොරෝනා ආසාදනය වීමෙන් මියගොස් ඇත්තේ දෙනයන සස්මිත දිල්තුෂාන් ඉඹුල්ගල නමැති 18 හැවිරිදි,කොළඹ ඉසිපතන විද්‍යාලයේ වාණිජ අංශයෙන් උසස් පෙළ හදාරමින් සිටි පාසල් සිසුවෙක්.

ඉකුත් 10 වන දින මෙම සිසුවාට පෙන්නුම් කළ රෝග ලක්ෂණ කිහිපයක් හේතුවෙන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවක් සිදුකරන ලද අතර එම වාර්තාවලට අනුව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසුව ප්‍රතිකාර සඳහා අගෝස්තු 14 දා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කොට එහි ප්‍රතිකාර ලබමින් සිටියදී 15 දා මිය ගොස් තිබෙනවා.

පසුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත දේහය කොළඹ ජාතික බෝවන රෝග විද්‍යායතනයට රැගෙන යන ලෙස කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු පාරින්ද කොටුගොඩ මහතා පොලිසියට නියෝග කරනු ලැබුවා.

ඒ අනුව කොළඹ ජාතික බෝවන රෝග විද්‍යායතනයට රැගෙන ගිය,මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය,එහි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී එස්.ඞී.චන්න පෙරේරා මහතා විසින් (17 දා) සිදු කරනු ලැබුවා.

තම වැඩිමහල් පුතුගේ අභාවය පිළිබඳ පියා වන ප්‍රියදර්ශන ඉඹුල්ගල මහතා සඳහන් කර සිටින්නේ

මගේ පුතාට පසුගිය 6 වැනිදා උණ ගැනුණා.

පසුව අපි 10 දා ඇන්ටිජන් පරීක්ෂාවක් කළා.

එහිදී දැනගත්තා පුතාට කොරෝනා ආසාදනය වී ඇති බව.පසුව වෛද්‍ය උපදෙස් මත පුතා නිවසේ නිරෝධායනය වී සිටියා.

මේ අතරෙදී 14 දා පුතාට බඬේ දැවිල්ලක් ආවා.

අප මේ පිළිබඳව පවුලේ වෛද්‍යවරයාට දැනුම් දුන්නට පස්සේ රෝහලකට රැගෙන යන ලෙස උපදෙස් දුන්නා.

ඒ අනුව ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කරල සාත්තුවට මම ළඟ නැවතුනා.ඒ අතරෙදී තමයි පුතා මිය ගියේ.

රෝහල්ගත කළ දවසේ ලේ පරීක්ෂාවක් කළා.

15 දා උදේ වෙනකොට පුතාට එන්න එන්නම අමාරු වුණා.

එයාට ඔක්සිජන් දෙන තත්ත්වයට පත් වුණා.

ඒ වෙනකොට පුතාට දාඩිය දාලා.කකුල් සීතල වෙලා.

ඊට පස්සෙ තමයි වෛද්‍යවරු කිව්වේ පුතාව දැඩිසත්කාර ඒකකයට දාන්න ඕන කියලා.

ඒ අනුව 15 දා සවස 4.30 පමණ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමට රැගෙන ගියා.

ඊට පස්සේ තමයි නර්ස් කෙනෙක්ගෙන් මට දැනගන්න ලැබුණෙ මගේ පුතාගේ ජීවිතේ බේරගන්න බැරිවුණා කියලා.

මේ වගේ දෙයක් තවත් දරුවකුට වෙන්න එපා.තවත් අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට මේ වගේ දුකක් නම් හිමි වෙන්ට එපා පුතාගේ ජීවිතේ නැතිවීම මහා අපරාධයක්.

අන්තිම මොහොත වන විට පුතාගෙන් වචන පිට වුණේ නැහැ.

අතින් තමයි සංඥා කළේ.මට දැන් හිතෙනවා මගේ පුතා අයි.ඩි එච්.එකට යැව්වා නම් හොඳයි කියලා.එහෙම වුනානම් මගේ පුතාව තව එක දවසක් හරි ජීවත් කරගන්න තිබුණා කියලත් මට වෙලාවකට හිතෙනවා.

ඒ දරුවා අධ්‍යාපනය ලබපු ඉසිපතන විද්‍යාලයේ ඉහළ දස්කම් දැක්වූ කෙනෙක් පාසැලේ ඡුායාරූප අංශයේ ප්‍රධානියා ලෙසත් කටයුතු කළා.

බෞද්ධ සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයෙක් ලෙසත් ලියෝ සිංහ සමාජයේ උප සභාපතිවරයා ලෙසත් කටයුතු කළා.

පාසලේ විදුහල්පතිවරයා ඇතුළු ආචාර්ය මණ්ඩලයේත්,සහෝදර ශිෂ්‍යයන්ගේත් හිත දිනාගෙන හිටිය මගෙ දරුවා අවට හැම පාසලකම සිසුන් සමග සුහදව හිටියා.

ඔහුගේ සමුගැනීම මටනම් හිතා ගන්න බෑ.අපි හැමෝටම හීනයක් වගේ යැයි පවසනවා.

ඉදිරිපත් වූ සාක්ෂි සහ පශ්චාත් මරණ පරීක්ෂණ වෛද්‍ය වාර්තාවට අනුව මියගිය සිසුවාගේ මරණය කොවිඩ් 19 ආසාදනය වී,පාදවල,රුධිර නාලවල,ලේ කැටිගැසී,පෙනහලූවල සිරවීම හේතුවෙන් වූ මරණයක් බවට කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු පාරින්ද කොටුගොඩ මහතා (17 දා) නිගමනය කර තිබෙනවා.