”අත්‍යාවශ්‍ය කරුණකට හැර නිවෙස්වලින් පිටතට යන්න එපා…” – යුද හමුදාපති

265

ඉදිරි දින කිහිපය තුළ අත්‍යාවශ්‍ය කරුණකට හැර නිවසින් පිටතට යාමෙන් වළකින ලෙස කොවිඩ් 19 වැළැක්වීමේ කාර්ය සධාක බලකායේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

රජයේ සේවකයින්ට හා ආයතන ප්‍රධානීන්ට අත්‍යාවශ්‍ය සේවකයින් හැර අනෙකුත් පිරිස් රාජකාරියට ගෙන්වීමෙන් වළකින ලෙස දැනුම් දී ඇතැයි,ද යුද හමුදාපතිවරයා සඳහන් කළේ ය.

මේ අතර මෙරටදී දෛනිකව වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව තහවුරු කරමින් තවත් කොරෝනා මරණ 167 ක් ඊයේ වාර්තා විය.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 6,263 ක් දක්වා ඉහළ ගියේ ය.

තවත් කොරෝනා ආසාදිතයින් 3,466 ක් ඊයේ දිනයේ හඳුනා ගැනුණු අතර ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 362,074 ක් දක්වා ඉහළ ගියේ ය.

කොරෝනා ආසාදිතව සිට 312,057 දෙනෙකු ‌පූර්ණ සුවය ලබා ඇති අතර රෝහල්ගතව සහ නිවෙස් ප්‍රතිකාර ක්‍රමය යටතේ ප්‍රතිකාර ලබමින් සිටින ආසාදිතයින් සංඛ්‍යාව 43,921කි.

මේ අතර සෑම දිනකම රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා දිවයින පුරා නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක අතර නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමෙන් පසු දිවයිනේ ප්‍රදේශ රැසකදී විශේෂ රථවාහන පරික්ෂා කිරීම් ද සිදු විය.

මෙහිදි ඇඳිරි නීතිය පැවැත්වෙන රාත්‍රී කාලයේ බොහෝ දෙනෙකු පැරණි බෙහෙත් වට්ටෝරු උපයෝගි කරගෙන රථවාහන ධාවනය යෙදී ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.

මේ අතර අද (17) මධ්‍යම රාත්‍රීයේ සිට නැවත දැනුම් දෙන තුරු විවාහා මංගල උත්සව සඳහා ද අවසර නොලැබෙනු ඇති.