අඩුපාඩු හදාගෙන ඉදිරි තරග 02කට මුහුණ දෙනවා – වනිදු හසරංග

418

දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර තරඟ තුනකින් සමන්විත විස්සයි විස්ස තරඟාවලියේ පළමු තරඟය ඊයේ (10) ආර්.ප්‍රේමදාස පිටියේදී පැවැත්වුණා. මෙම තරඟය ලකුණු 28කින් ජය ගනිමින් 1-0ක් ලෙස තරඟාවලියේ පෙරමුණ ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා.කාසියේ වාසිය ජයග්‍රහණයෙන් පසු පළමුව පන්දුවට පහරදීමට තීරණය කල දකුණු අප්‍රිකානුවන් පන්දුවාර විස්ස අවසානයේ කඩුළු 5කට ලකුණු 163ක් රැස් කිරීමට සමත් වුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුළු 6ක් දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 135ක් පමණයි.

තරඟයෙන් අනතුරුව වනිඳු හසරංග තරඟය පිළිබඳව අදහස් දැක්වීමක නිරත වුණා.එහිදී ඔහු පැවසුවේ පළමු පන්දුවාර 6 තුළ නිලකුණු පන්දු වැඩි සංඛ්‍යාවක් තිබීම අවාසි සහගත වූ බවත් ඕනෑම කණ්ඩායමක් අතින් අතපසුවීම් සිදු විය හැකි බවත්ය.ඊට අමතරව දකුණු අප්‍රිකානු පිතිකරුවන් හොඳින් පිතිකරණයේ නිරත වූ බවත් ඔහු පවසන ලදි. කණ්ඩායම වශයෙන් සෑම විටම මීළඟ තරඟයට මුහුණ දීමේදී පෙර තරඟවල වූ අතපසුවීම් අවම කර ගැනීමට උත්සාහ කරන බවත්,පිතිකරුවන් හා පන්දු යවන්නන්ගේ හොඳ සමබරතාවයක් කණ්ඩායම සතු බවත් ඔහු පැවසීය. මීළඟ තරඟ දෙක ජයග්‍රහණය කර ලෝක කුසලානය සඳහා හොඳ විශ්වාසයකින් යාමට කණ්ඩායම බලාපොරොත්තුවන බව ඔහු වැඩිදුරටත් පවසන ලදි.