අජන්ත මෙන්ඩිස්ව පුනරූපනය කෙරූ අභිරහස් දඟයා – මේ මහේෂ්ගේ කතාවයි.

707

අජන්ත මෙන්ඩිස් තමන්ගේ මංගල එක්දින තරගයේදී ලකුණු 39කට කඩුලු තුනක් දවා ගන්නවා. ඒ කොදෙව් කන්ඩායමට එරෙහිව 2008දී… මීට හරියටම අවුරුදු 13කට පස්සේ නැවතත් අජන්ත මෙන්ඩිස්ගේ ප්‍රතිරූපයක් ලෝක ක්‍රිකට් පිටියට හදුන්වා දෙන්න ශ්‍රි ලංකා ක්‍රිකට් වලට හැකි වෙනවා.

ඒ තමයි මහේෂ් තීක්ෂණ.

එදා අජන්ත මෙන්ඩිස්ගේ පන්දු හදුනා ගන්න බැරුව පිතිකරුවන් ඇඹරෙන ඇඹරිල්ල අවුරුදු 13කට පස්සේ අද අපි ආයෙමත් දැක්කා… ලෝක කුසලානයක් අත ලග තියාගෙන නැවතත් ලෝකයක් බිය වද්දන්න පුළුවන් පන්දු යවන්නෙක් ලක් මවට බිහි වෙනවා.

ඉතිං මේ මහේෂ්ගේ කතාව…

මහේෂ් කියන්නේ අලුත් පරම්පරාවේ පන්දු යවන්නෙක්.

මහේෂ් මුලින්ම ක්‍රිකට් පටන් ගන්නේ වයස අවුරුදු 10දී අශෝක සිල්වා ක්‍රිකට් ඇකඩමියෙන්… තිලක් ද සිල්වා මහතා සහ රම්‍යජිත් මහතා තමයි මහේෂ්ගේ මුල් පුහුණුකරුවන්… සුසිලෝඨන ජාතික පාසලෙන් සිද්ධාර්ඨයට ඇවිත් වයස අවුරුදු 13දී බෙන්ඩික් විද්‍යාලයෙන් ක්‍රීඩාව කරගෙන යනවා.

මහේෂ් කියන්නේ වයස අවුරුදු 19න් පහල ලෝක කුසලාන අවසාන සංචිතයෙන් හැලුණු දරුවෙක්.

හැබැයි අද වෙද්දි ඔහු ක්‍රිකට් වලින් යන්න පුළුවන් උපරිම තැනට ගිහින් ශ්‍රි ලංකා ජර්සිය ඇදගෙන ශ්‍රි ලංකා ජාතික කන්ඩායමට ක්‍රීඩා කරනවා. ලෝකයේ ප්‍රභල දඟ පන්දු යවන්නෝ ගත්තොත් එයාලගේ ආරම්භය සිදු වෙලා තියෙන්නේ වේග පන්දු යවන්නෙක් විදිහට. මුත්තයියා මුරලිදරන් , වනිදු හසරංග කියන්නේ මුල් කාලයේ වේග පන්දු යවන්නෝ…

මහේෂ් තීක්ෂණත් ඒ වගේ…මහේෂ් තීක්ෂණ කියන්නේ කුඩා කාලයේ වේග පන්දු යවන්නෙක්. වයස අවුරුදු 13දී සිදු වුන ආබාධයක් නිසා ඔහු දඟ පන්දු ‍යවන්නෙක් වෙනවා. ඔහුගේ වාසනාවකට එදා අවාසනාවන්ත ආබාධයක් අද ඔහුගේ වාසනාවකට පෙරෙලෙනවා.

ඒ ආබාධය නිසා අද විජ්ජාකාර පන්දු යවන්නෙක් ලෝකයට නැවතත් හදුන්වා දෙන්න ශ්‍රි ලංකා ක්‍රිකට් වලට පුළුවන් වෙනවා. මේ අභිරහස් පන්දු යවන්නා අජන්ත මෙන්ඩිස් ක්‍රීඩා කරනවා බලලා අවුරුදු දෙකක් කැරම් පන්දුව යොමු කරන්න පුරුදු වෙනවා. අද වෙද්දි මහේෂ්ගේ ප්‍රධාන පන්දු යැවීමේ අවි ගබඩාවේ කැරම් පන්දුව,ගුග්ලි පන්දුව,පා දඟ පන්දුව සහ පිට දඟ පන්දුව වැනි කඩුලු හොරකම් කරන අවි රාශියකින් සමන්විත පන්දු යවන්නෙක් ලෙස ශක්තිමත් වී සිටිනවා. මේ අරුම පුදුම පන්දු යවන්නාව දුටු dilruwan පෙරේරාගේ ආරාධනාවක් නිසා මහේෂ් තීක්ෂණට කෝල්ට්ස් කන්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබෙනවා.

ඉන් පසු නිමා වූ එල් පි එල් තරගාවලියේ ශූරතාවය දිනූ ජැෆ්නා ස්ටැලියන්ස් කන්ඩායම නියෝජනය කරන්න අවස්ථාව ලැබෙනවා.ඒ සුවිශේෂී දක්ෂතා දුටු මහේෂ්ට ජාතික කන්ඩායම නියෝජනය කරන්නට පෙර අබුඩාබි ටී 10 ලීගය වැනි ලෝකයේ හොදම ක්‍රීඩකයින් සහභාගි වෙන ලීග් තරගාවලියකටද සහභාගි වෙන්න වාසනාව හිමි වෙනවා.

ඉන් පසු නිමා වූ ආරාධිත විස්සයි විස්ස තරගාවලියේ මහේෂ් දක්වපු සුවිශේෂී දක්ෂතා නිසා මහේෂ්ට ජාතික කන්ඩායමේ දොරටු විවෘත වෙනවා. අද වෙද්දි මහේෂ් තීක්ෂණ ඔහු අද ක්‍රීඩා කරන පන්දු යැවීමේ ඉරියව්වේ මුල් අයිතිකාරයා වෙන අජන්ත මෙන්ඩිස්ගේ මුල් දක්ෂතා ද පරාජය කරලා තමා සහභාගි වුන පලවෙනි එක්දින තරගයේම ලකුණු 37කට කඩුලු හතරක් දවා ගන්නවා.අජන්ත මෙන්ඩිස් තමන් සහභාගි වුන පලමු තරගයේ ලකුණු 39කට කඩුලු තුනක් දවා ගන්නවා.ඊට අවුරුදු 13කට පස්සේ අජන්ත මෙන්ඩිස්ගේ ඉරියව්වට සමානකම් කියන 21 හැවිරිදි පුංචි කොල්ලෙක් ඇවිත් එයාගේ පලවෙනි තරගයේම කඩුලු හතරක් දවා ගන්නවා.

ඒ විතරක් නෙමෙයි ශ්‍රි ලංකා පන්දු යවන්නෙක් තමන්ගේ මංගල එක්දින තරගයේ පලවෙනි පන්දුවෙන්ම කඩුල්ලක් දවා ගන්නේ මේ හතරවෙනි වතාවට…. මහේෂ් ඒ විරල දක්ෂතාවයත් ප්‍රදර්ශනය කරලා පලවෙනි තරගයේ පලවෙනි පන්දුවෙන්ම තරගයේ වටිනාම කඩුල්ල වුන පෙර තරගයේ ශ්‍රි ලංකා පරාජයට වගකිවයුත්තා වුන ජෙනමන් මාලන්ව පිටියෙන් ඉවත් කරනවා.

එතැනින් නවතින්නේ නැ.. ඊට පස්සේ ශ්‍රි ලංකාවට හිසරදයක් වෙමින් හිටපු ක්ලාසන්ගේ වටිනා කඩුල්ලත් මහේෂ් දවා ගන්නවා. රබාඩාගේ කඩුල්ල වගේම අවසානයේ වසර 7කට පස්සේ අයි සී සී එක්දින ශ්‍රේණිගත කිරීම්වල මුල් ස්ථානයන් පහ තුල හිටපු කන්ඩායමක් පරාජය කරන්නට සමත් වුන දකුණු අප්‍රිකානු ඉනිමේ අවසාන කඩුල්ලත් දවාගෙන විජයග්‍රහණයක් හිමි කර දෙන්න මේ අද්භූත පන්දු යවන්නාට පුළුවන් වෙනවා.

බොහෝ දුරට මේ තරගාවලියෙන් එළියට දාපු විස්සයි විස්ස තරගවල සාර්ථක පන්දු යවන්නෙක් වුන ලක්ෂාන් සදකැන් එළැඹෙන ලෝක කුසලාන සංචිතයට නම් කරයි කියලා හිතෙනවා.

එහෙම වුනොත් අපිට වනිදු , චමීර , සදකැන් එක්ක ලෝකයක් අපහසුතාවට පත් කරන්න පුළුවන් මහේෂ් තීක්ෂණ කියන මේ අරුම පුදුම පන්දු යවන්නාත් රැගෙන ප්‍රභල පන්දු යවන්නන්ගෙන් සමන්විත කන්ඩායමක් ලෙස එළැඹෙන ලෝක කුසලානයට සහභාගි වෙන්න පුළුවන්.

කොහොම වුනත් වනිදුට එහා පැත්තෙන් ඕනම පන්දුවක් යොමු කරන්න පුළුවන් මිශ්‍ර දඟ පන්දු යවන්නෙක් දැන් අපිට ඉන්නවා. මේ විජ්ජාවට දකුණු අප්‍රිකානු පිතිකරුවන් විතරක් නෙමෙයි එදා අබුඩාබි T10 ගහපු විස්සයි විස්සේ දැවැන්තයොත් පුදුම වුනා.

අපේ ක්‍රිකට් වල අනාගතය ගැන පුංචි බලාපොරොත්තුවක් ගේන්න මේ අද්භූත දඟකාරයා සමත් වුනා. අජන්ත මෙන්ඩිස්ට වූ ඉරණම සිද්ධ නොවී හරියට රැක ගත්තොත් මේ ඉන්නේ තවත් අංක එකේ පන්දු යවන්නෙක්. අනාගතයට සුභ පැතුම් මහේෂ් තීක්ෂණ.

Rishie Bro